ටච්වුඩ් ඈවර කරන්නැයි අධිකරණ නියෝගයක්

    June, 5, 2014

    ආන්දෝලනයට තුඩුදී ඇති ටච්වුඩ් රුක් රෝපණ සමාගම ඈවර කර වසා දමන්නැයි අධිකරණය විසින් අද නියෝග කළ අතර සමාගමේ වත්මන් ප්‍රධාන විධායක නිළධාරීවරයා පවසන්නේ මෙම තීන්දුවට එරෙහිව ඉදිරියේදී ඇපෑලක් ඉදිරිපත් කරන බවයි.

    ටච්වුඩ් සමාගම විසින් ණය කරුවන්ට බලාපොරොත්තු ප්‍රතිලාභ නොගෙවූ බවටත් ලබාදී තිබෙන සමහර චෙක්පත් අගරු වූ බවටත් චෝදනා කරමින් සමාගම වසා දමන ලෙස ආයෝජකයින් පිරිසක් කොළඹ, අංක 03 වාණිජ මහාධිකරණය වෙත නඩුවක් ගොනුකර තිබූ අතර එම නඩුවට අදාළ තීන්දුව අද ලබාදුන්නේය.

    මේ පිළිබඳව අප හා අදහස් දක්වමින් ටච්වුඩ් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී, විජන් ලංකා කිවුලේගෙදර පැවසුවේ සමාගම විසුරුවා හැරීම සඳහා ජූලි 14 වනදා වනවිට ඈවර කරුවෙකු පත්කරන ලෙස අධිකරණය විසින් නියෝග කළ බවයි.

    “මෙම තීන්දුවට එරෙහිව අපි ඉදිරියේදී ඇපෑලක් ඉදිරිපත් කරනවා.“

    යනුවෙන් හෙතෙම අප සමග පැවසීය.

    මේ අතර, සමාගම පසුගියදා පැවසුවේ නව ස්ථානයක නව තේමාවකින් හා නව ලාංඡනයකින් නව මෙහෙයුමක් අරඹන බවයි.

    මේ අනුව, සිය කාර්යාලය බත්තරමුල්ලේ පැලවත්තට රැගෙන ගිය බවත් එහි මෙහෙයුම් කටයුතු ජුනි 02 වනදා සිට අරඹන බවත් සමාගම මීට පෙර සඳහන් කළේය.

    එහි අධ්‍යක්ෂවරුන් ලෙස දක්වා තිබුණේ එහි සභාපතිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිළධාරීවරයා වන ලංකා විජේන්ද්‍ර කිවුලේගෙදර, උපුල් ඉන්ද්‍රජිත් පීරිස් සහ අනුරුද්ධ ඩයස් බණ්ඩාරනායක යන අයයි.