පොලිය තවත් පහළ දැමිය හැකියි. බැංකු වලට රතු එළියක්

    June, 18, 2014

    වාණිජ බැංකුවල පොලී අනුපාතය තීරණය වීමට බලපාන මහ බැංකුවේ පොලී අනුපාතය ජුනි මාසයේදීත් වෙනස් නොකිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

    මේ අනුව, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත ජුනි මාසයේදී තවදුරටත් සියයට 6.5 ක් සහ සියයට 8.0 ක් ලෙස නොවෙනස්ව පවතින අතර මහ බැංකුව වාණිජ බැංකු වලට අවධාරණය කර තිබෙන්නේ ණයදීමේ පොලී අනුපාත තවදුරටත් අඩුකරන ලෙසයි.

    බැංකු ණයදීමේ පොලී අනුපාතය හා තැන්පතු පොලී අනුපාතය අතර වෙනස හෙවත් පොලී අන්තරය වැඩිම රටක් ලෙස ලංකාව සැලකෙන අතර එය රටේ ආර්ථික වර්ධනය වේගවත් කිරීමට බාධාවක් ලෙසින් පවතී.

    ලංකාවේ බැංකු පොලී අන්තරය සියයට 04 කට වැඩි අතර හොංකොං වැනි රටක එය සියයට 02 කට අඩුය.

    ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ලංකාවේ බැංකු වැඩිපුර ලාභ ලබමින් ඉහළ පොලී අන්තරයක් තබා ගැනීම හේතුවෙන් අඩු පොලියට ණය ලබාගෙන සිදුකළ හැකි ආර්ථික ක්‍රියාකාරකම් අඩුවී තිබෙන බවයි.

    මේ නිසා, මහ බැංකුව පොලී අනුපාතය අඩු කරනවා සේම වාණිජ බැංකුද පොලී අනුපාත අඩුකිරීම වැදගත් කාරණයක් යැයි ඔවුන් පෙන්වා දෙයි.

    මහ බැංකුව පවසා තිබෙන්නේ බැංකු පොලී අනුපාතය තවදුරටත් අඩු කිරීම සඳහා වාණිජ බැංකු වලට මේ වනවිට අවස්ථාවක් තිබෙන බවයි.