ලංකාව ඇඟලුම් රටක් වුණත් දේශීය වෙළඳ පොළින් 60% ක් විදේශ සන්නාම අතේ

    June, 21, 2014

    ඇඟලුම් අපනයනය කිරීමේ ප්‍රමුඛතම රටක් වන ශ්‍රී ලංකාවේ වෙළඳ පොළ තුළ සියයට 60 ක් පමණ අලෙවි කරන්නේ චීනය, ඉන්දියාව හා ඉන්දුනීසියාව වැනි රටවල නිෂ්පාදනය කළ ඇඟලුම් බව අනාවරණය වේ.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමයේ (Sri Lanka Apparel Brands Association- SLABA) සභාපති, ඉන්ද්‍රදත්ත ධර්මවර්ධන මහතා පැවසුවේ ලංකාවේ සිල්ලර ඇඟලුම් වෙළඳ පොළේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 02 ක් පමණ වන බවයි.

    මෙම වෙළඳ පොළේ සියයට 40 ක පමණ කොටසකට ශ්‍රී ලාංකික සන්නාම හිමිකම් කියනු ලබයි.

    ඉන්ද්‍රදත්ත ධර්මවර්ධන මහතා කියා සිටියේ බදු ගසමින් විදේශීය සන්නාම මෙරටට පැමිණීම වලක්වන ලෙස සිය සංගමය රජයන් ඉල්ලීම් නොකරන බවත් තරගකාරී ලෙස නිෂ්පාදනවල ගුණාත්මක භාවය වර්ධනය කරමින් විදේශීය ඇඟලුම් සමග තරග කිරීමට බලාපොරොත්තු වන බවත් දේශීය නිෂ්පාදන වලට අනාගතයක් උදාකර ගත හැක්කේ ඒ ආකාරයෙන් බවයි.

    ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමයේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාමය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් ඇති තත්ත්වයට පත්කිරීමයි.

    මේ වනවිට, ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමයේ සිටින සාමාජිකයින් ගණන 60 දෙනෙකු ඉක්මවා ගොස් තිබෙන අතර ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදනය ඩොලර් බිලියන 03 ක සීමාව දක්වා සංවර්ධනය කිරීම මෙම සංගමයේ අපේක්ෂාවයි.