ඇමති චම්පිකගේ FB ගිණුම විසන්ධි කරයි

    July, 24, 2014

    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නිල Facebook ගිණුම සහ රසික පිටුව (FB page) කිසිඳු හේතුවක් නොදක්වමින් විසන්ධි කර ඇත. මේ පිළිබඳව අමාත්‍යවරයා විසින් Facebook  සමාජ ජාලයේ පරිපාලන කමිටුව වෙත නිල විද්‍යුත් ලිපියක් ඔස්සේ දන්වා ඊට හේතු විමසා ඇත.

    ඊට ප්‍රතිචාර වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ ඒ පිළිබඳව සොයා බලා ඉදිරි දිනෙක තමන්ව දැනුවත් කරන බවයි. තමන්ගේ නිල FB පිටුවෙහි විවිධ අදහස් හා මත දරණ රසිකයින් 21,000 කට නොඅඩු ප්‍රමාණයක් සිටි බව ඇමති චම්පික රණවක සඳහන් කරයි.

    තමන් විසින් මේ පිළිබඳව Facebook  සමාජ ජාලයේ කරුණු අධ්‍යයනයේදී චම්පික රණවක, පාඨලී චම්පික රණවක සහ ආසන්න නම් මෙන්ම තමන්ගේ ඡායාරූප සෘජුවම භාවිතයෙන් ව්‍යාජ  Facebook  ගිණුම් 05 ක් සක්‍රීයව පවත්වාගෙන යන බවද අනාවරණය කර ගැනීමට හැකිවී ඇත. ඒවායේ අන්තර්ගතයෙහි විවිධ ව්‍යාජ විස්තර සහ මහජනතාව මුලාවන තොරතුරු අන්තර්ගතවී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.