August, 29, 2014
මේ වසර වෙනුවෙන් මෙරටට ඩොලර් බිලියන 2.5 ක සෘජු විදේශීය ආයෝජන ගෙන්වා ගැනීමට රජය ඉලක්ක කර තිබේ. කෙසේවෙතත්, 2014 මුල් මාස 06 තුළදී මෙරටට පැමිණ තිබෙන්නේ ඩොලර් මිලියන 817 කට ආසන්න සෘජු විදේශීය ආයෝජන ප්‍රමාණයකුයි.
මේ නිසා, මේ වසරේ ඉලක්කය සපුරා ගැනීමට හැකිවේදැයි ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගෙන් අප විමසීමක් කළා.
“මුල් මාස හයේ මෙරටට පැමිණි සෘජු විදේශීය ආයෝජනය ඩොලර් බිලියනයකට අඩු වුවත් ඉතිරි මාස හය තුළ වැඩි ආයෝජන ප්‍රමාණයක් ඒ යැයි අපි විශ්වාස කරනවා. සාමාන්‍යයෙන් හැමදාම වෙන්නෙ එහෙමයි. වසරේ දෙවන අර්ධයේදී තමයි වැඩිපුර ආයෝජන එන්නේ. මේ නිසා, මේ වසරේ සෘජු විදේශීය ආයෝජන ඉලක්කය සපුරා ගැනීමට හැකිවේයැයි අපි දැඩිව විශ්වාස කරනවා.“
සියයට අටක ආර්ථික වර්ධනයක් ලබාගැනීමට නම් මෙරටට වසරට ඩොලර් බිලියන 04 ක සෘජු විදේශීය ආයෝජන ගෙන්වා ගත යුතු බවත් නොමැති නම් සිදුකර තිබෙන දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘති වලින් බලාපොරොත්තු වන ප්‍රතිඵල නොලැබෙනු ඇති බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා පසුගිය මැයි මාසයේදී කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කීය.
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා එහිදී පැවසුවේ ගිය වසරේ මුල් කාර්තුවට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුව තුළ මෙරටට පැමිණි සෘජු විදේශීය ආයෝජන සියයට 104 කින් වර්ධනය වී ඇති බවයි.
Video Story