September, 5, 2014
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳ පොළ (Capital Market) ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඇමරිකාවේ නිව් යෝර්ක් නුවරදී ඊයේ ආරම්භ වූ පළමු ආයෝජන සමුළුවට ඇමරිකානු අරමුදල් කළමනාකරුවන්ගෙන් (Fund Managers) ඉතා ඉහළ ප්‍රතිචාරයක් තිබුණු බවත් 250 කට අධික පිරිසක් මෙයට සහභාගී වෙමින් සමුළුව සාර්ථකව අවසන් වූ බවත් නිව් යෝර්ක් නුවරින් අප වෙත ලැබෙන ආරංචි මාර්ග සනාථ කරයි.
මෙරට සමාගම් 14 ක් සමග ඇමරිකානු අරමුදල් කළමනාකරුවන් විසින් වෙන වෙනම පැවැත්වූ ඇතැම් රැස්වීම් වඩාත් ඵලදායී ලෙස දෙවන දිනය දක්වාම පැවති බව අනාවරණය වේ. මෙහිදී, සමහර සමාගම් විසින් පවත්වා තිබෙන ආයෝජන රැස්වීම් ප්‍රමාණය 40 කට ආසන්නය.
මෙහිදී, ඇතැම් සමාගම්වල විශාල ප්‍රමාණයේ කොටස් මිලදීගැනීම කෙරෙහිද ඇමරිකානු ආයෝජකයින් සාකච්ඡා පවත්වා තිබෙන බවත් මෙම ආරංචි මාර්ග හෙළිදරව් කරයි.
පසුගියදා යුනියන් බැංකුවේ සියයට 70 ක කොටස් රුපියල් බිලියන 15 කට මිලදීගත් ඇමරිකාව පදනම් කරගත් ලොව විශාලතම පුද්ගලික ආයෝජන සමාගමක් වන TPG සමාගම නියෝජනය කළ නියෝජිතයා මෙම සමුළුවේදී පවසා තිබෙන්නේ ඔවුන් විසින් වෙනත් රටවල සිදුකළ බැංකු 30 ක පමණ ආයෝජන සැසඳීමේදී ලංකාවේ ඉතාමත් පහසුවෙන් ආයෝජනය කිරීමට හැකිවූ බවයි.
මේ අතර, 2014 ඔක්තෝම්බර් 09 වනදා කොළඹදී පැවැත්වෙන ප්‍රාග්ධන වෙළඳ පොළ පිළිබඳ සමුළුවට සහභාගී වෙන්නැයි ඇමරිකානු අරමුදල් කළමනාකරුවන්ට ලංකාව විසින් මෙහිදී ආරාධනා කර ඇත.
J.W. Marriot Essex House හෝටලයේ පැවති “Invest Sri Lanka – Investor Forum“ යනුවෙන් නම්කළ මෙම ආයෝජන සමුළුවට අමාත්‍ය සරත් අමුණුගම, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, විනිමය කොමිසමේ සභාපති නාලක ගොඩහේවා, කොටස් වෙළඳපොළ සභාපති, වජිර කුලතිලක යන මහත්වරුන් ඇතුළු 50 දෙනෙකුගෙන් යුතු නියෝජිතයින් පිරිසක් මෙරට නියෝජනය කරමින් සහභාගී විය.
ජෝන් කීල්ස්, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, හේලීස්, ඇක්සස් ඉංජිනියරිං, පීපල්ස් ලීසිං, හේමාස් හෝල්ඩින්ග්ස්, සොෆ්ට්ලොජික්, ටෝකියෝ සිමෙන්ති, ලාෆ්ස් හෝල්ඩින්ග්ස්, සන්ෂයින් හෝල්ඩින්ග්ස්, එම්.ටී.ඩී. වෝකර්ස්, යන සමාගම්වල නියෝජිතයින්ද මෙම සමුළුවේදී ලංකාව නියෝජනය කළේය.
Video Story