පොල්තෙල් -අපට ජපානයේ තිබෙන ඊළඟ අවස්ථාව

    September, 10, 2014

    ආහාර භාවිතය සම්බන්ධයෙන් ජපාන වැසියන් දැඩි සැලකිල්ලක් දක්වයි. පොල්තෙල් ආහාරයට ගැනීම නිසා වයස් ගතවන විට ඇල්සයිමර් නැමති රෝගයට ගොදුරුවීම අවම වන්නේ යැයි ජපාන විද්‍යාඥයෙකු විසින් සොයාගෙන තිබෙන නිසා ජපාන වැසියන් මේ වනවිට පොල්තෙල් කෑමට වැඩි නැඹුරුවක් දක්වා ඇතැයි ජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අප සමග සඳහන් කළේය.

    මේ නිසා, ලංකාවේ පොල් තෙල් නිෂ්පාදකයින්ට ජපානය වෙත පොල් තෙල් අපනයනය කිරීමට නව වෙළඳ පොළක් විවෘත වී තිබෙන බවත් ජපාන වැසියන් ලංකාව කෙරෙහි තිබෙන දැඩි මිත්‍රත්වය මේ සඳහා කදිම රුකුලක් බවත් කරන්නාගොඩ මහතා පැවසීය.

    “ජපානයේ අළුත්ම අවශ්‍යතාවය වෙලා තිබෙන්නේ පොල්තෙල්. ජපානයේ මහාචාර්ය වරයෙකු සොයාගෙන තිබෙනවා, පොල් තෙල් දවසකට මේස හැඳි දෙකක් බිව්ව නම් වයසට ගියහම හැදෙන ඇල්සයිමර් කියන රෝගය හැදෙන්නෙ නෑ කියල.“

    “දැන් ජපානයේ හුඟක් අය හොයනවා පොල් තෙල්. ලංකාව ගැන ජපාන වැසියන්ගේ ලොකු පිබිදීමක් තිබෙනවා. මේ නිසා, පොල්තෙල් හදන වෙනත් රටවල් සිටියත් ඒ ගොල්ලන්ට ඕන ලංකාවේ පොල් තෙල්.“

    ස්වභාවික ආහාරයක් ලෙස පමණක් නොව ස්වභාවික රූපාලංකාරණ අමුද්‍රව්‍යයක් ලෙසද ජපානය තුළ පොල් තෙල් භාවිතය මේ වනවිට ඉහළ ගොස් තිබේ.