ජෝර්ජ් ස්ටුවර්ට් පාලිත කොටස දේශෝදය ගනී

    September, 24, 2014

    මෙරට මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහනට අනුව යමින් ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් සමාගමේ පාලිත කොටස් අයිතිය මිලදී ගැනීමට පසුගියදා ගිවිසුමකට එළඹුණු සර්වෝදය ව්‍යාපාරයට අයත් දේශෝදය ඩෙවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම අදාළ ගිවිසුමට අනුව ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් සමාගමේ සියයට 70.25 ක පාලිත කොටස් ප්‍රමාණය රුපියල් මිලියන 350 කට ආසන්න මිලකට අද මිලදීගෙන තිබේ.

    මෙහිදී, දේශෝදය ඩෙවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම විසින් මිලදීගෙන තිබෙන ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් සමාගමේ ඡන්ද සහිත සාමාන්‍ය කොටස් ගණන (Voting Ordinary shares) මිලියන 15.8 ක් වන අතර කොටසක් මිලදීගෙන තිබෙන්නේ රුපියල් 22.20 කටයි.

    මෙම සමාගම් දෙක අතර ඇතිකර ගත් ගිවිසුමට අනුව ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන කොටස් කරුවන් වන ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ් කම්පනි ලිමිටඩ් සහ කැපිටල් ට්‍රස්ට් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් යන සමාගම් වලින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය සහිතව දේශෝදය ඩෙවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් විසින් පාලිත කොටස් අයිතිය මිලදීගනී.

    දේශෝදය ඩෙවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් යනු මෙරට ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ ප්‍රමුඛතම සමාගමක් වන අතර මෙම ඒකාබද්ධ වීමත් සමග සමාගම තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර තිබේ.