MTD Walkers රුපියල් බිලියන 2.3 ක සල්ලි මල්ලක් අභියස

    October, 10, 2014

    හිමිකම් නිකුතුවක් ලෙස (Rights Issue) කොටස් නිකුතුවක් සිදුකරමින් රුපියල් බිලියන 2.3 ක පමණ මුදලක් රැස්කර ගැනීමට ඉදිකිරීම්, නිෂ්පාදන, සහ ඉංජිනේරු කටයුතු පිළිබඳව දේශීයව මෙන්ම විදේශීයව ප්‍රසිද්ධියක් උසුලන MTD Walkers PLC සමාගම සූදානම් වේ.

    මේ අනුව, සමාගම විසින් කොටස් මිලියන 53.2 ක් නිකුත් කරන අතර තිබෙන සෑම කොටස් දහසකටම කොටස් 466 ක් මෙහිදී නිකුත් කරයි.

    මෙසේ රැස්කර ගන්නා මුදල් වලින් Wincon Development Ceylon (Private) Ltd සමාගමේ සියයට 100 ක කොටස් මිලදී ගැනීමටත් සමාගමේ කාර්ය ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමටත් සැලසුම් කර ඇත.

    1981 වසරේදී කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත (List) කර තිබෙන MTD Walkers PLC සමාගම තේ නිෂ්පාදන යන්ත්‍ර නිෂ්පාදනය කිරීම සහ අලෙවි කිරීමද සිදුකරන අතර මෙම යන්ත්‍ර රුවන්ඩාවට සහ වියට්නාමයට අපනයනය කිරීමද කරයි.

    MTD Walkers PLC සමාගමේ සභාපතිවරයා වන්නේ Dato’ Azmil KhaIiIi Bin Dato’ Khalid මහතා වන අතර මෙරට ප්‍රකට ව්‍යාපාරික රවී විජේරත්න මහතා මෙහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු (Independent Non-Executive Director) ලෙස කටයුතු කරයි.

    Wincon Development Ceylon (Private) Ltd සමාගම ආරම්භ කර තිබෙන්නේ 2003 වසරේදීයි.