යමුද? කොළඹ වරාය නගරයේ රවුමක්. 03 සහ 04 වනදා එන්න

    December, 30, 2014

    ගාලු මුවදොර ආසන්නයේ මුහුද ගොඩකරමින් හෙක්ටයාර් 233 ක පමණ භූමියක ඉදිකරන වරාය නගරයේ සහ කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මහජනතාවට ලබාදී තිබේ.

    මේ අනුව, 2015 ජනවාරි 03 වනදා සහ 04 වනදා පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා මහජනතාවට මෙම අවස්ථාව ලබාදී තිබෙන බව වරාය අධිකාරිය සඳහන් කරයි.

    කොළඹ වරාය පුළුල් කිරීමේ දියකඩනය සමීපයේ සිට ගාලු මුවදොර පිටිය දෙසට පිහිටි මුහුදු ප්‍රදේශය ගොඩ කිරීම මගින් මෙම නව වරාය නගරය ඉදිකරයි.

    මෙහිදී, යෝජිත ව්‍යාපෘතිය මගින් හෙක්ටයාර 233 කට නොඅඩු භූමි භාගයක් මුහුද ගොඩකිරීම මගින් ලබාගන්නා අතර මෙම ව්‍යාපෘතිය සිදුකරන චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් සමාගමට මුහුද ගොඩ කිරීමෙන් පසුව හෙක්ටයාර 108 ක භූමි ප්‍රමාණයක් ආදාල ආයෝජන පිරිවැය, අලෙවි ප්‍රවර්ධන වියදම් පියවා ගැනීම සඳහා සහ ලාභ වශයෙන් වෙන්කිරීමට නියමිත බව මහ බැංකුව පවසා ඇත.

    එසේ වෙන්කරන භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 20 ක ප්‍රමාණයක් නිදහසේ භුක්ති විඳීමේ පදනම මතද ඉතිරි හෙක්ටයාර 88 ක භූමි ප්‍රමාණය වසර 99 ක බදු පදනමක් මතද ලබාදීමට නියමිත බව සඳහන්ය.

    මුළු ගොඩකරන භූමි ප්‍රමාණයෙන් ඉතිරිවන භූමි ප්‍රමාණය වන හෙක්ටයාර 125 ක කොටස ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවතින බව මහ බැංකුව සඳහන් කර තිබේ.

    මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ඇස්තමේන්තුගත ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක මුදල ආයෝජකයා වන චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් ආයෝජනය කරයි.

    මහ බැංකුව පවසා තිබෙන්නේ මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් යෙදවීම ව්‍යාපෘතියේ ආයෝජකයා විසින් විදේශීය සෘජු ආයෝජනයක් ලෙස සිදුකිරීමට නියමිත නිසා මෙම ව්‍යාපෘතියේ මූල්‍යන කටයුතු සඳහා රජය වෙත කිසිදු වියදමක් හෝ විදේශීය ණය ගැනීමක් නොමැති බවයි.