May, 31, 2017
හම්බන්තොට වරාය සම්බන්ධයෙන් හයිනා හාබර් සමාගම සමඟ ඇති කිරීමට යෝජිත ගිවිසුම සම්බන්ධ සාකච්ඡා මින් ඉදිරියට සිදුකරනු ලබන්නේ තමන් පමණක් බවත් ඒ පිළිබඳ ප්‍රකාශ කිරීමට වෙන කිසිවකුට හෝ ඉඩ නොදෙන බවත් වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. ඊයේ (30) පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද සමරසිංහ මෙසේ පවසන ලදී.
“මා පළමුව තීරණයක් ගත්තා හම්බන්තොට වරාය සම්බන්ධ සාකච්ඡා සියල්ලක්ම මා විසින් කරනවා කියලා. එය වෙන කාටවත් ඉඩ දෙන්නේ නැහැ. මේ සිකුරාදා චයිනා මර්චන්ට් සමාගමේ ප්‍රධානීන් හමුවෙලා බලාපොරොත්තු වෙනවා, ඉතා ඉක්මනින් අපේ ජාතික අවශ්‍යතාවයන් ගිවිසුමට ඇතුල් කරලා ඒ ගිවිසුම ඉවර කරලා, ගිවිසුම අත්සන් තැබීමේ කටයුත්ත කරන්න.“
“මේ ව්‍යාපෘතියේ පසුබිම දැනගත යුතුයි. විශාල ණයක් අරගෙන මෙය ඉදිරිකරන්න කටයුතු කළේ පසුගිය රජය. අපිට රජයක් විදියට මේ ණය ගෙවීමේ කටයුත්ත තමයි අපිට බාර වෙලා තිබුණේ. වරාය අදිකාරිය තමයි මේ ණය ඒ ගොල්ලන්ගේ නමට ගත්තේ. මේ වෙන කොට ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇමරිකන් ඩොලර් මිලියන 220 ක් ගෙවලා තියෙනවා. පසුගිය මාස 06 රුපියල් මිලියන 4,000 ක් ගෙව්වා. මේ ණය ගෙවන්නේ භාණ්ඩාගාරයෙන් නොවෙයි. එහි බර ඇත්තේ වරාය අධිකාරියටයි.“
“මේ ණය විතරක් නොවෙයි. සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකරන්නත් විශාල ණයක් චයිනා හාබර් කොම්පැනියෙන් ගත්තා. ඒකත් ගෙවන්න සිද්ධවෙලා තියෙන්නේ වරාය අධිකාරියට. මේ වෙන කොට චයිනා හාබර් කොම්පැනිය ජාත්‍යන්තර බේරුම්කාර උසාවියට ගොස් තිබෙනවා, මෙම ණය ඉතිරි මුදල නොගෙවීම සම්බන්ධව. මේ ණය ගැනීම සම්බන්ධව හරි ගිවිසුමක් ඇත්තේත් නැහැ.“
“මෙහිදී වරාය විකිණීමක් සිදුවෙන්නේ නැහැ. වෙන්නේ බදු දීමක්. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවකට මලික් සමරවික්‍රම හා සරත් අමුණුගම අමාත්‍යවරුන් සමඟ පැවැත්වුවා. කුමන ගිවිසුමට ගියත් මේ රටේ නීතිරීති උල්ලංඝනය කළ නොහැකි බව එහිදී පෙන්වා දුන්නා. වරායේ යාත්‍රා නියාමනය කිරීම අප වෙත තබාගනිමින්, රේගු කටයුතු අප සිදුකරමින්, වරාය අධිකාරිය පැත්තෙන් රටේ අවශ්‍යතාවයන් සම්පූර්ණ වෙන විදියට, ඒවා උල්ලංඝනය නොවෙන විදියට යෝජනා ගණනාවක් එහිදී ඇතුල් කළා.“
“පැරණි ගිවිසුමේ බොහෝ තැන් මේ වෙන කොට සංශෝධනය වෙලා. අලුතෙන් සාකච්ඡා කරලා, ඒ සංශෝධනත් ඇතුල් කරලා තමයි පසුව දැනුවත් කළ හැකි වන්නේ.“
Video Story