IFC ව්‍යාපෘති වෙනුවෙන් විදේශීය රුපියල් බැඳුම්කර නිකුත් කිරීමේ යෝජනාවක්

    June, 21, 2017

    ශ්‍රී ලංකා රුපියල් බැඳුම්කර විදේශීය වශයෙන් (offshore) නිකුත් කිරීමටත්, එමඟින් ලැබෙන අරමුදල් ශ්‍රී ලංකාවේ තමන් විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවල යෙදවීමටත් ලෝක බැංකුවට සම්බන්ධ අන්තර්ජාතික මූල්‍ය සංස්ථාව (IFC) විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

     

    මෙමඟින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විශ්වසනීයත්වය පිළිබඳ සංඥාවක් ලබා දීම, කාලයත් සමඟ නව විදේශ ආයෝජන රට තුළට ගලා ඒම වර්ධනය වීම, ශ්‍රී ලංකා බැඳුම්කර නිකුත්කරන්නන් සඳහා විකල්ප අරමුදල් ප්‍රභව ඇති කිරීම, ශ්‍රී ලංකාව වෙත ඇමරිකානු ඩොලර් වැඩි වැඩියෙන් ආකර්ෂණය කරගැනීම වැනි ප්‍රතිලාභ මෙරටට අත්වනු ඇති බව රජය කියා සිටී.

     

    ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේදී මේ පිළිබඳව සලකා බලා ඇති අතර, අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීම නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ හා අනෙකුත් අදාළ ආයතනවල නිසි අනුමැතිය ලබාගැනීමට යටත්ව මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.