සදාහරිත සමාගම අනාගත අභියෝගය පිළිබඳ දැනුවත් කරයි

    June, 27, 2017

    එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ පාරිසරික සංවිධානයක්වන 'The Nature Consevancy' සංවිධානය විසින් නිකුත් කරන ලද නවත ම වාර්තාවන්ට අනුව වසරකට ලොව පුරා නිවර්තන වනාන්තර හෙක්ටයාර මිලියන 15ක් කපා දැමෙන බව හෙළි වී ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ හරිතාගාර වායු විමෝචනය අවම කරමින් පෘථිවිය බේරා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ඇති වඩාත් ලාභදායී ම ක්‍රමවේදය කැලෑ කැපීම නතර කිරීම බවය. එහෙත් වර්තමාන තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් මෙම සියවස අවසානයවන විට සියලු වැසි වනාන්තර ලෝකයෙන් තුරන්වන බව ද ඔවුහු පෙන්වා දෙති.

    මෙම දැවැන්ත අවදානමට මෙන් ම මෙරට ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට කදිම විසඳුමක් ලෙස සදාහාරිත වැවිලි සමාගම මෙරට ආයෝජකයන් හට පරිසර හිතකාමී ආයෝජනයක් හඳුන්වා දී ඇත.

    "අප සතුව වන වගා බිම් අක්කර 2000කට අධික ප්‍රමාණයක් මෙන්ම, 26,000 කට අධික තෘප්තිමත් ආයෝජකයන් පිරිසක් සිටිනවා. තමන්ගේ ආර්ථිකයට පමණක් නොව, කාබන් විමෝචනය අවම කරමින් පරිසරය රැක ගැනීමට ද වාණිජ වන වගා ක්ෂේත්‍රය මනා පිටිවහලක්වන බව ඔවුන් මැනවින් හඳුනාගෙන තිබෙනවා" යනුවෙන් සදාහරිත සමාගමේ සභාපති සතිස් නවරත්න මහතා සඳහන් කළේය.

    වැසි වනාන්තර පවතින්නේ ලෝකයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 12%ක පමණ ප්‍රතිශතයක් වුවත්, ලෝකයේ ජීවත්වන ශාක සහ සත්ත්ව විශේෂ අතරින් අඩකට අධික ප්‍රමාණයකට නිවහන සපයනුයේ එම සීමිත වනාන්තර ගහනයයි.

    2012 වසරේදී ජාතික හරිත සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලද සදාහරිත වැවිලි සමාගම, සඳුන්, තේක්ක, රඹුටන් සහ අගාවුඩ් යන ශාක ආශ්‍රයෙන් මෙරට වාණිජ වන වගාව ප්‍රචලිත කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කරයි.

    වන වගා කළමනාකරණය සහ දැවමය නොවන ශාක ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ පර්යේෂණ සිදු කරන ලොව පිළිගත් පර්යේෂකයෙකු මෙන් ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු දවන ආචාර්ය උපුල් සුබසිංහ මහතා වාණිජ වන වගාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සදාහරිත සමාගම දක්වන දායකත්වය පැසසුමට ලක් කළේය.

    2015 වසරේදී ඔහු විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ වාර්තාවකට අනුව, තේක්ක ගසක් පැළ කර වසර 20ක් ගතවන විට එය කාබන් මෙට්‍රික් ටොන් 0.55ක් ගබඩා කිරීමේ හැකියාවෙන් යුතු වෙයි. එම ප්‍රමාණය කාබන් ඩයොක්සයිඩ් මෙට්‍රික් ටොන් 2.017කට සමාන වේ. සුදු හඳුන් ගසක් වසර 20ක් ගතවන විට කාබන් මෙට්‍රික් ටොන් 0.12ක් ද, ඇක්‌විලාරියා (අගාවුඩ්) ශාකයක් වසර 8ක් ගතවන විට කාබන් මෙට්‍රික් ටොන් 1.14ක් ද ගබඩා කිරීමේ හැකියාවෙන් යුතු වෙයි. ඒ අනුව ඉහත සඳහන් ශාකවලින් ගහන සදාහරිත සමාගම සතු අක්කර 2000කට අධික භූමි ප්‍රමාණයක් නියත වශයෙන් ම මෙරට කාබන් විමෝචනය පාලනය කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි.

    මීට අමතරව, හරිත රැකියා අවස්ථා 1100කට අධික ප්‍රමාණයක් පිරිනමමින් මෙරට නැවුම් ආයෝජන අවස්ථාවක් ප්‍රවර්ධනය කිරීම සඳහා අඛණ්ඩව කැප වූ සදාහරිත සමාගම නුදුරේදී ම වාණිජ වන වගා ක්ෂේත්‍රය තුළ සිය 15වන සංවත්සරය සැමරීමට නියමිතය.