June, 28, 2017
මන්නාරම් දිස්ත්‍රික්කයේ, මාන්තායි - බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යෝජිත ජලජීවී වගා කර්මාන්තපුරය ආශ්‍රිතව පැසිෆික් සුදු ඉස්සන් වගා කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා තායි - ලංකා ඇක්වා (පෞද්ගලික) සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනාව ක්‍රියාත්මක කිරීම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ තිබේ.
ඒ අනුව, මාන්තායි - බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 'ජලජීවී වගා කර්මාන්තපුරයක්' වශයෙන් සංවර්ධනය කිරීමට හඳුනාගෙන ඇති භූමියට ආසන්නයෙන් අක්කර 250ක භූමි ප්‍රදේශයක්, පැසිෆික් සුදු ඉස්සන් වගා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා තායි - ලංකා ඇක්වා (පෞද්ගලික) සමාගම වෙත අවුරුදු 30ක කාලසීමාවකට බදු පදනම මත වෙන් කර දීම පිණිස අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ පුත්තලම් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගනිමින් අක්කර 10,000ක පමණ ඉඩම් ප්‍රමාණයක කරඅඬු ඉස්සන් (Tiger Prawn) වගාව සිදු කෙරෙන අතර වාර්ෂික ඉස්සන් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 6,030ක් පමණ වේ. ඉන් මෙට්‍රික් ටොන් 2,500ක් පමණ අපනයනය කෙරෙන අතර ඇමරිකානු ඩොලර් මිලියන 16ක පමණ වාර්ෂික ආදායමක් එමඟින් උපයනු ලැබේ.
සුදු පුල්ලි රෝගයට ලක්වීම නිසා මෙරට වගා කරනු ලබන ඉස්සන් අපනයන ප්‍රමිතියට නොමැති වීම හේතුවෙන් එම කර්මාන්තය පසුබෑමට ලක් වී ඇති අතර, ජලජීවී ඉස්සන් වගාවේ ශීඝ්‍ර වර්ධනයක් සඳහා සුදු පුල්ලි රෝගයට ප්‍රතිරෝධීත්වයක් දක්වන සහ ලෝක වෙළඳ පොළේ ඉහළ ඉල්ලුමක් ඇති පැසිෆික් සුදු ඉස්සන් (Pacific White Shrimp) වගාව මෙරටට හඳුන්වාදීමට යෝජනා වී තිබීම මත රජය මෙම තීරණය ගෙන ඇත.
Video Story