ශ්‍රී ලාංකේය ඇඟලුම් අපනයනය වේගවත් කිරීම සඳහා ThreadSol පෙරමුණ ගනී

    June, 29, 2017

    ශ්‍රී ලංකාවේ රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තය ආනයනික අමුද්‍රව්‍ය සහ මෙවලම් මත දැඩි ලෙස රඳා පවතී. එම ක්ෂේත්‍රයේ භාවිතයට ගනු ලබන අමුද්‍රව්‍යවලින් 70%කට අධික ප්‍රමාණයක් ද, මෙවලම් අතරින් 70%-90% අතර ප්‍රමාණයක් ද මෙරටට ආනයනය කෙරේ. ඇඟලුම් ක්ෂේත්‍රයේ නිෂ්පාදන පිරිවැයෙන් 70%කට අධික ප්‍රමාණයක් වෙන් වන්නේ රෙදි සහ වෙනත් මෙවලම් සඳහාවන බැවින්, සමාගම්වල අමුද්‍රව්‍ය සහ මුදල් ගලනය පාලනය වීම තුළින් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රගතියට එය විශාල බාධාවක් බවට පත්ව ඇත.

    මැහුම් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා කාර්මික අමුද්‍රව්‍ය කළමනාකරණ සේවා සම්පාදනය කරන ThreadSol සමාගම, සිය නවෝත්පාදන විසඳුම්, intelloBuy සහ intelloCut සේවා සමගින් මෙරට ඇඟලුම් නිෂ්පාදනකයන් රෙදි සඳහා දරන වියදම 10%ක් දක්වා අඩු කිරීමට සමත්ව සිටී.

    ThreadSol සමාගමේ IntelloCut යනු, අමුද්‍රව්‍ය සැලසුම්කරණය සහ අමුද්‍රව්‍ය මගින් උපරිම ඵල නෙලා ගැනීම වෙනුවෙන් හඳුන්වා දෙන ලද විසඳුමකි. එහි ඇති උසස් ක්‍රමවේද හරහා රෙදි කැපීම සහ අපතේ යාම අවම කිරීම සඳහා රෙදිවලින් උපරිම ප්‍රයෝජන ලබා ගත හැකි වඩාත් සාර්ථක සැලසුමක් සේවාලාභියා හට හිමිකර දෙයි. ThreadSol සමාගමේ IntelloBuy සේවාව යනු, මැහුම් කර්මාන්තය සඳහා හඳුන්වාදෙන ලද අමුද්‍රව්‍ය ඇස්තමේන්තුගත කිරීමේ විසඳුමකි. එය ThreadSol සමාගම විසින් හඳුන්වාදෙන ලද දෙවන නිෂ්පාදනයවන අතර, කිසියම් විලාසිතාවක් සඳහා අවශ්‍ය රෙදි පිළි ප්‍රමාණය මෙමගින් ඉතා නිවැරදිව ගණනය කෙරෙන බැවින් රෙදි මිලදී ගැනීමේදී ඩොලර් මිලියන ගණනක් ඉතිරි කර ගැනීමේ අවස්ථාව මෙමගින් සේවාලාභියාට හිමිකර දෙයි.

    ThreadSol සමාගම මේවන විට ද MAS Holdings, Orit Apparels, EAM Maliban Textiles, Omegaline, Crystal Martin, Brandix, Hirdaramani ඇතුළු මෙරට ප්‍රමුඛ පෙළේ ඇඟලුම් නිෂ්පාදකයන් රැසක් සමග කටයුතු කරමින් ඔවුන්ගේ අමුද්‍රව්‍ය අපතේ යාම 1%කට අඩු මට්ටමක පවත්වා ගැනීම සඳහා සිය සහයෝගය ලබා දී ඇත.

    ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ වියට්නාමය යන රටවල පිහිටි සිය කර්මාන්තශාලා 10ක ThreadSol සමාගමේ Intellocut විසඳුම භාවිතයට ගන්නා බව EAM Maliban Textiles සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ අසීම් ඉස්මයිල් මහතා සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ Intellocut විසඳුම රෙදි වර්ග කිහිපයක් ඵලදායී ලෙස හසුරුවමින් සහ අවසානයේ ඉතිරිවන අමුද්‍රව්‍ය සැලසුම්කරමින් සිය කාර්යභාරයන් සඳහා විශාල අස්වැසිල්ලක් වූ බවය.

    ලෝකයේ දැනට පවතින නවීනත ම තාක්ෂණය මෙරට ඇඟලුම් කර්මාන්තයට හඳුන්වා දෙන ThreadSol සමාගම, කර්මාන්තශාලාවල තොරතුරු එසැණින් නිෂ්පාදකයාගේ ජංගම දුරකථනයට ලබා දෙයි.
    "IntelloCut මෙවලම අපගේ සියලු පරිශ්‍රවල රෙදි පිළි උපරිම ඵලදායී බවින් යුතුව භාවිතා කිරීම සඳහා කැපීම් ක්‍රියාවලිය ප්‍රමිතිගත කිරීමට උපකාරී වුණා" යනුවෙන් Crystal Martin Sri Lanka සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කොලින් වෝස් මහතා ප්‍රකාශ කළේය.

    "තමන්ගේ ලාභ වැඩිකර ගැනීම සඳහා රෙදි පිළි සඳහා යන පිරිවැය අවම කර ගැනීමේ ඇති වැදගත්කම ශ්‍රී ලාංකේය ඇඟලුම් නිෂ්පාදකයන් හඳුන්වාගෙන තිබෙනවා. තරගකාරීත්වයට සාර්ථකව මුහුණ දීම සඳහා නිවැරදි තාක්ෂණය භාවිතා කරමින් තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය ස්වයංක්‍රිය කිරීමට ඔවුන්ට සිදු වී තිබෙනවා" යයි ThreadSol සමාගමේ මෙරට සාමාන්‍යාධිකාරී ප්‍රතීක් නීගම් මහතා අදහස් පළ කළේය.

    ThreadSol සමාගම මෙරට ඇඟලුම් නිෂ්පාදකයන්ගේ අමුද්‍රව්‍ය පිරිවැය විශාල වශයෙන් අවම කරමින් ඔවුන්ගේ ලාභ 50%ක් දක්වා වැඩි කිරීමට සමත් පුළුල් පරාසයක විහිදුනු කාර්මික අමුද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් රැසක් පිරිනමයි.