June, 29, 2017
සෙලින්කෝ ලයිෆ් සමාගමේ ජීවිත අරමුදල මෙරට දේශීය ජීවිත රක්ෂණ ක්‍ෂ්ත‍්‍රයේ වේගයෙන්ම වර්ධනය වන අරමුදල බවට පත්වෙමින් 2017 මැයි මාසය වනවිට රුපියල් බිලියන 80 සීමාව පසුකර තිබෙන බව සමාගම නිවේදනය කර තිබේ.
වසර 29 කට මදක් වැඩි මෙහෙයුම් කාලයක් තුළදී මෙම සංධිස්ථානය පසුකිරීමට සමත්වූ බවත් මෙය ශ‍්‍රී ලංකාව තුළ අසමසම තත්ත්වයක් බවත් දේශීය ජීවිත රක්‍ෂණ ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් පවසයි.
සෙලින්කෝ ලයිෆ් සමාගමේ ජීවිත අරමුදල 2017 මැයි මාසය අවසන් වනවිට රුපියල් බිලියන 81.9 ක්වී තිබෙන්නේ මීට පෙර මාස 45 ක කාලය සමඟ සැසඳීමේදී 63% ක් හෙවත් රුපියල් බිලියන 30 ක සුවිශේෂී වර්ධනයක් ලබාගනිමිනි. 2013 අගෝස්තු මාසය වනවිට මෙම අරමුදල රුපියල් බිලියින 50 ක් විය. 2016 අපේ‍්‍රල් මාසය වනවිට මෙම අරමුදල රුපියල් බිලියන 70 සීමාව පසුකළ අතර මාස 12 ක පමණ කාලයක් තුළදී අරමුදල තවත් රුපියල් බිලියන 10 කින් වර්ධනය වී තිබීම කැපී පෙනේ.
‘ජීවිත රක්ෂණ සමාගමක ජීවිත අරමුදල සහ එය වර්ධනය වන වේගය අදාළ සමාගමේ මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය පෙන්නුම් කරනවාල’ යනුවෙන් මේ පිළිබදව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ආර්. රෙන්ගනාදන් මහතා සඳහන් කළේය. ‘පසුගිය වසර 13 පුරාම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම බවට අප පත්වූයේ ඇයිදැයි අපගේ ජීවිත අරමුදලේ වර්ධනය සහ අපගේ වෙළඳපොළ කොටස මගින් අතිවිශිෂ්ට උදාහරණයක් සපයනවා.’
සෙලින්කෝ ලයිෆ් සමාගමේ රක්ෂණ වාරික ආදායම් 2017 මුල් මාස 05 තුළදී රුපියල් බිලියන 5.9 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර මෙම කාල සීමාවේදී සමාගම විසින් ශුද්ධ හිමිකම් සහ ප‍්‍රතිලාභ ලෙස රුපියල් බිලියන 2.6 ක මුදලක් ගෙවා තිබේ.
මේ අතර, සලකා බලන කාල සීමාව තුළදී සමාගමේ ආයෝජන සහ අනිකුත් ආදායම් පසුගිය වසරේ අදාළ කාල සීමාව සමඟ සැසඳීමේදී 24% කින් වර්ධනය වී 2017 මැයි 31 වනදා වනවිට රුපියල් බිලියන 3.9 ක්වී තිබේ. මෙම දිනය වනවිට සමාගමේ ආයෝජන කළඹ රුපියල් බිලියන 89.9 ක්වී තිබෙන අතර එය මාස දෙකක කාලයක් තුළ රුපියල් බිලියන 3.9 කින්ද 2016 වසරේ අවසානයේ සිට රුපියල් බිලියන 9.2 කින්ද වර්ධනය වී ඇත.
2017 මැයි අවසන් වනවිට සමාගමේ සමස්ත වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන 106.5 ක්වී තිබෙන අතර එය 2016 දෙසැම්බර් 31 වනදා සිට ගෙවුණු මාස 05 ක කාල සීමාව තුළදී රුපියල් බිලියන 10.1 ක හෙවත් 10.4% ක වර්ධනයකි. මේ අතර, 2017 මැයි 31 වනදා වනවිට සෙලින්කෝ ලයිෆ් සමාගමේ කොටස්කරුවන්ගේ අරමුදල රුපියල් බිලියන 12.5 ක්වී තිබේ.
වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් පිට පිටම තුන්වන වරටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සෙලින්කෝ ලයිෆ් 2016 වසරේදී තෝරාගත් අතර සමාගම මෙහෙයුම් කටයුතු ආරම්භ කළේ 1988 වසරේ ජනවාරි මාසයේදීයි. සක‍්‍රීය රක්ෂණ ඔප්පු මඟින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබෙන සෙලින්කෝ ලයිෆ් සමාගම නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ ක්‍ෂ්ත‍්‍රයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් මිනුම් ලකුණක් වේ.
Video Story