ඩිජිටල් රාජ්‍ය සේවාව සවිබල ගැන්වීමට රාජ්‍ය නිලධාරීන්ට උසස් අධ්‍යාපන වරම්

    July, 3, 2017

    ඩිජිටල් රාජ්‍ය සේවාවකට අවශ්‍යය මානව සම්පත තව දුරටත් සවිබල ගැන්වීමට පියවර ගැනේ.

    මේ අනුව රාජ්‍ය ආයතනයන්හි සිටින ප්‍රධාන නවිකරණ නිලධාරීන්ට සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ට පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව උදාකර දී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA)  පවසයි.

    මෙහි මුලික අදියර වශයෙන් ඉ-රාජ්‍ය පිලිබඳ පශ්චාත් උපාධි  පාඨමාලා හැදෑරීම සදහා තිස් දෙනෙකුට පමණ පහසුකම් සලසා දී  තිබේ.

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) මානව සම්පත් ප්‍රවර්ධන වැඩසටහන සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය (PIM)  ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා ඇතැයි නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකරු සමීර ජයවර්ධන මහතා පවසයි.

    විශේෂයෙන්ම රාජ්‍ය අංශය තුල ඉ-රාජ්‍ය කටයුතු ආයතන මට්ටමින් ක්‍රියාවට නැංවීමේ වැඩි වගකීමක් පැවරී තිබෙන්නේ මෙම  ප්‍රධාන නවිකරණ නිලධාරීන්ට සහ  ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ට බවත් ඒ අනුව මෙවැනි උසස් අධ්‍යාපන අවස්ථා ඔවුන්ට  උදාකර දීම තුලින් ඉදිරි ඩිජිටල් ශ්‍රී ලංකාවක් දැක්ම යතාර්ථයක් කර ගැනීමට මහඟු  රුකුලක් වන බවත් නියෝජිතායතනය සඳහන් කරයි.

    එසේම ජාතික මට්ටමින් රාජ්‍ය අංශයේ සියළු නිලධාරීන් ඉලක්ක කර ඩිජිටල් රාජ්‍ය සම්බන්ධයෙන් මානව සම්පත ප්‍රවර්ධනය සදහා වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇතැයි ද නියෝජිතායතනය වැඩිදුරටත් සදහන් කරයි.

    මෙම උසස් අධ්‍යාපන වරම් හිමිකර දීමේ ශිෂ්‍යත්ව ප්‍රදානය නොබෝදා පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය දී (PIM) පැවැත්විණි. මෙම අවස්ථාවට විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ අතිරේක ලේකම් චන්දන රුද්‍රිගු, නියෝජිතායතනයේ අධ්‍යක්‍ෂ (ව්‍යාපෘති) අරුනේෂ් පීටර්, පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය අජන්ත ධර්මසිරි, අධ්‍යක්‍ෂ ආචාර්ය ලොයිඩ් ප්‍රනාන්දු යන මහත්වරුද එක්වූහ.