July, 4, 2017
යෝජිත විගණන පනත සම්බන්ධයෙන් රජය නිවේදනයක් නිකුත් කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පළ කර තිබූ එම නිවේදනය පහත දැක්වේ.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනතාව වෙත ඉදිරිපත් කෙරුණු "පංච විධ ක්‍රියාවලිය" ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ද පෙන්වා දුන් පරිදි ජාතික විගණන පනත සම්මත කර ගැනීමේ අවශ්‍යතාව රජය හොඳින් හඳුනා ගෙන සිටියි.
ඒ අනුව සමාලෝචන කමිටුව විසින් මූලික කෙටුම් පතක් සකස් කරන ලදුව සියළු පාර්ශවයන්ගේ අදහස් අනුව එයට යම් යම් සංශෝධන ද එක් කොට, 2016 නොවැම්බර් 24 වන දා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරිණි.
නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින්, 2017 ජනවාරි 10දා යළි සකස් කරන ලද කෙටුම්පත නිකුත් කරන ලදුව ඒ පිළිබඳ මුදල් අමාත්‍යංශයේ සහ අධිකරණ අමාත්‍යංශයේ නිරීක්‍ෂණ විමසන ලදී. එකී නිරීක්‍ෂණ 2017 පෙබරවාරි 09දා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරිණි.
එසේම ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුවේ තීරණය මත, පනත් කෙටුම් පත සහ එකී නිරීක්‍ෂණ 2017 පෙබරවාරි 13දා සරත් අමුණුගම, අනුර ප්‍රියදර්ශන යාපා සහ රවි කරුණානායක යන අමාත්‍යවරුන් වෙත ද ලබා දෙන ලදී.
එකී නිරීක්‍ෂණ ද ඇතුළත් කෙරුණු නව කෙටුම් පත 2017 මාර්තු 25දා වන විට සකසා නිම කෙරිණි.
එම කෙටුම්පත අග්‍රමාත්‍ය ජ්‍යේෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ මහතා සහ භාණ්ඩාගාර ලේකම් වරයා වෙත 2017 මාර්තු 27දා යොමු කරන ලද්දේ ඔවුනගේ නිරීක්‍ෂණ ලබා ගැනීම සඳහා ය.
මේ කෙටුම්පත පිළිබඳ නීතිපති නිරීක්‍ෂණ 2017 මැයි 30 වන දා ලැබිණි. එම නිරීක්‍ෂණ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත 2017 ජූනි 01දා යොමු කෙරිණි.
මේ සම්බන්ධව විගණකාධිපතිවරයාගේ නිරීක්‍ෂණ ද නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් ලබා ගෙන ඇති අතර, අවසන් කෙටුම් පත සැකසීම දැන් සිදු කෙරෙමින් පවතී.
මෙවැනි වැදගත් පනතක් සැලසීමේ දී, සියළු පාර්ශවයන්ගේ අදහස් හා නිරීක්‍ෂණ සැලකිල්ලට ගැනීමේ වැදගත්කම රජය පිළිගනියි. ඒ නිසා ම, රටේ අනාගතය සුපිරිසිදු කරලීමට මෙන් ම, රාජ්‍ය සේවාවේ විනිවිදභාවය යළි ඉහළට ඔසවා තැබීමට පාදක වන මේ පනත ඉතා සැලකිල්ලෙන් හා සුපරීක්‍ෂාකාරීව සකස් කිරීමට රජය සිය උපරිම සැලකිල්ල යොමු කර තිබේ.
Video Story