ඉන්ධන ආනයන වියදමේ විශාල වැඩිවීමක්

    July, 10, 2017

    2017 අප්‍රේල් මාසය තුළ දී ආනයනය කරන ලද ඉන්ධන සදහා දරන ලද මුළු වියදම සියයට 62.1 කින් ඉහළ ගොස් තිබේ. 2017 අප්‍රේල් ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 325.6 ක් ලෙසින් වාර්තා වන අතර 2016 අප්‍රේල් මාසයේ දී මෙම වියදම වාර්තා වූයේ ඩොලර් මිලියන 200.8 කි වශයෙනි.

    මෙහිදී බොරතෙල් ආනයන වියදම ඩොලර් මිලියන 30.5 සිට 81.5 දක්වා සියයට 167.2 කින් ද, පිරිපහදු කළ ඛනිජතෙල් ආනයන වියදම ඩොලර් මිලියන 151.3 සිට 204.6 දක්වා සියයට 35.2 කින් සහ ගල්අගුරු ආනයන වියදම ඩොලර් මිලියන 19.1 සිට 39.5 දක්වා සියයට 107.4 කින් ඉහළ ගොස් තිබේ.

    මේ අතර 2017 වසරේ මුල් මාස 04 සඳහා දරන ලද බොරතෙල් ආනයන වියදම ඩොලර් මිලියන 126.5 සිට 207.6 දක්වා සියයට 64.2 කින් ද, පිරිපහදු කළ ඛනිජතෙල් ආනයන වියදම ඩොලර් මිලියන 465.1 සිට 829.9 දක්වා සියයට 78.4 කින් සහ ගල්අගුරු ආනයන වියදම ඩොලර් මිලියන 95.0 සිට 170.8 දක්වා සියයට 79.8 කින් ඉහළ ගොස් තිබේ. මෙහිදී 2017 ජනවාරි - අප්‍රේල් කාලපරිච්ඡේදය තුළ මුළු ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 686.5 සිට ඩොලර් මිලියන 1,208.3 දක්වා සියයට 76 කින් වර්ධනය වී ඇත.

    විදුලි බල උත්පාදනය සඳහා තෙල් හා ගල් අඟුරු ආනයන පරිමාව ඉහළ යෑමත්, ගෝලීය වෙළෙඳපාළ තුළ ඉන්ධන ආනයන මිල ගණන් ඉහළ යෑමත් මීට හේතු වී තිබේ. 2016 අප්‍රේල් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් 56.48 ක්වූ ඛනිජ තෙල් බැරලයක ආනයන මිල 2017 අප්‍රේල් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් 56.48 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2017 අප්‍රේල් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවේ මේ බව සඳහන් වේ.