ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීමට පියවර රැසක්

    July, 18, 2017

    ඩිජිටල් යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීම උදෙසා ඩිජිටල් තාක්ෂණය මඟින් මෙහෙයවන ඇතැම් කටයුතු හේතුවෙන් මෙම ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කර ගෙන ඇති නමුත් එම තත්ත්වය ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා ප්‍රමාණවත් නොමැති බවට රජයේ අවධානය යොමුව ඇත.

    එබැවින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ප්‍රසාරණය කිරීම හා එමඟින් අත්පත් කර ගනු ලබන ප්‍රතිලාභ රටේ සෑම පුද්ගලයෙකුටම ලබා ගත හැකි වන පරිදි ඔවුන් බලගැන්වීම පිණිස වඩාත් පැහැදිලි උපායමාර්ග සකස් කිරීමේ අවශ්‍යතාව පැනනැඟී ඇති අතර ඒ අනුව, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය හා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය විසින් ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම පිණිස යෝග්‍ය උපායමාර්ග පිළියෙල කිරීමටත්, යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීමටත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහත්වරුන් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

    ඩිජිටල්කරණයේ සහ අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව වර්ධනය වීම හේතුවෙන් පුද්ගලයින්ගේ ජීවිත කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර විශේෂයෙන්ම වැඩ කටයුතුවල නිරත වන ආකාරය, ගමනාගමනය, ඉගෙනුම් කටයුතු, සමාජගතවීම සහ විනෝදාස්වාදය යන ක්ෂේත්‍ර ඒ යටතේ හඳුනාගත හැකිය.

    එමෙන්ම නූතන ආර්ථිකයේ සෑම අංශයක් තුළම ඩිජිටල් ආර්ථිකය ව්‍යාප්ත වී ඇති අතර ඒ හේතුවෙන් දේශ සීමා ඉක්මවා ශීඝ්‍රයෙන් වෙළඳ පොළ පුළුල් වීම, ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් නවෝත්පාදන ක්‍රම ඇරඹීම, විද්‍යාත්මක ප්‍රගමනයන්ට අවශ්‍ය ශක්තිය ලබා දීම, නව රැකියා අවස්ථා ඇති කිරීම, ශ්‍රම ඵලදායිතාව ඉහළ නැංවීම හා ආර්ථික වර්ධනය යන ක්ෂේත්‍රවල වැඩිදියුණුවක් ඇති වී තිබේ.