රාජ්‍ය වියදම්වල ප්‍රමිතිය ගැන සැලකිලිමත් විය යුතුයි – මහ බැංකු අධිපති

    July, 25, 2017

    රජයේ වියදම්වල ප්‍රමිතිය පිළිබඳ ඉහළ අවධානයක් දිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද (25) දින ආරම්භ වුණ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව - 2017 හි ප්‍රධාන දේශනය පවත්වමින් අධිපතිවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා,

    “අපට සමාජ සංවර්ධනය, ආර්ථික වර්ධනය හා ධනය නිර්මාණය සමඟ සමබර කර ගැනීමට නොහැකි නම් පැහැදිලිවට ගැටළුකාරීත්වයකට මුහුණ පාන්න සිදුවෙනවා. අපගේ ආර්ථික වර්ධන වේගය සහ අයවැය පරතරය අතර දැඩි සහසම්බන්ධතාවක් පවතිනවා. නමුත් නැගෙනහිර හා අග්නිදිග ආසියානු කලාපයේ සාර්ථක රටවල් දෙස බැලීමේ දී ඔවුන්ගේ වර්ධනය විශාල වශයෙන් සහසම්බන්ධතාවක් දක්වන්නේ ඔවුන්ගේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තය සමඟින්. එනම් අපනයන ආදායම.“

    “ආදායම ඉහළ නංවා ගැනීම රජයේ ප්‍රධාන අරමුණක්. ඒ වගේම රාජ්‍ය වියදම් පාලනය ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම රාජ්‍ය ආයෝජන සම්බන්ධයෙන් ප්‍රමුඛතාවයක් ලබා දීම ගැන අවධානය යොමු විය යුතුයි. දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 19-20 ක් පමණ වන සමස්ත රාජ්‍ය වියදම්, අනෙකුත් රටවල් හා සැසඳීමේ දී සෑහීමකට පත් විය හැකි මට්ටමක තිබෙනවා. නමුත් ප්‍රශ්නය වන්නේ ඒවායේ ප්‍රමිතිය යි.“

    “රාජ්‍ය වියදම්වල ප්‍රමිතිය හා සංයුතිය පිළිබඳ  ඒවා ඉහළ ප්‍රතිලාභයක් ලැබෙන අයුරින් යෙදවෙනවාද කියා අපි වැඩි අවධානයක් දිය යුතුයි.“