දඹුල්ලේ සිංගර් බෙදාහැරීමේ කේන්ද්‍රස්ථානය ජනපති අතින් විවෘත වේ

    July, 31, 2017

    සිංගර් සමාගමේ වර්ග අඩි 75,000 ක ප්‍රමාණයකින් යුතු දඹුල්ලේ දැවැන්ත බෙදාහැරීමේ කේන්ද්‍රස්ථානය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පසුගියදා උත්කර්ෂවත් ලෙස විවෘත කෙරිණි. දඹුල්ල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඇතුළු සියලු ආගම් නියෝජනය කරමින් ආගමික නායකයෝ ද, ගරු ජෝන් අමරතුංග, ගරු නිමල් සිරිපාල ද සිල්වා යන කැබිනට් අමාත්‍යවරු ද, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු සරත් ඒකනායක මහතා මෙන්ම තවත් සම්භාවනීය අමුත්තෝ රැසක් ද මෙම උත්සවය සඳහා සහභාගී වූහ. සිංගර් (ශ්‍රී ලංකා) සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අසෝක පීරිස්, බෙදාහැරීම් අධ්‍යක්ෂ ශ්‍යාම් රාමනාදන් සහ සේවා සහ බෙදාහැරීම් නියෝජ්‍ය අධ්‍යක්ෂ ආනන්ද මනෝරත්න ඇතුළු සිංගර් සමාගමේ කළමනාකාරීත්වය ද මෙම උත්සවය සඳහා සහභාගී විය.

    නවීන තාක්ෂණයෙන් යුතු මෙම දැවැන්ත බෙදාහැරීමේ කේන්ද්‍රස්ථානය හේතුවෙන් භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු දෙගුණයකින් වේගවත් කරමින්, වේගයෙන් වර්ධනයවන විකුණුම් ප්‍රමාණයට මුහුණ දීමට සිංගර් සමාගමට හැකි වේ.

    දඹුල්ල ප්‍රදේශයේ අක්කර 5.5ක සුවිසල් භුමි ප්‍රමාණයක ඉදි කර ඇති මෙම බෙදාහැරීමේ කේන්ද්‍රස්ථානය උතුරු මැද, උතුරු, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල පිහිටි අලෙවි මධ්‍යස්ථාන 180ක සහ 200කට අධික අලෙවි නියෝජිතයන්ගේත් භාණ්ඩ අවශ්‍යතාවන් සපුරාලනු ඇත. මීට අමතරව, ට්‍රැක්ටර් සහ කෘෂි උපාංග නිෂ්පාදන අලෙවිකරුවන් 250කට අධික සංඛ්‍යාවකට ද භාණ්ඩ බෙදා හරිමින් සිංගර් නිෂ්පාදන තවදුරටත් ගොවි ජනතාව වෙත ළඟා කිරීම සඳහා ද මෙම අති නවීන කේන්ද්‍රස්ථානය දායක වනු ඇත.

    රැහැන් රහිත සන්නිවේදන ක්‍රම, ආරක්ෂක කැමරා පද්ධති, අධික වෝල්ටීයතාවලින් විදුලි උපකරණ ආරක්ෂාකරන උපාංග, 150 KVA ජෙනරේටර් සහ නවීන බෙදාහැරීම් කළමනාකරණ පද්ධතියක් ද මෙම මධ්‍යස්ථානයේ ආරක්ෂාව සහ බාධාවකින් තොරව මෙහෙයුම් කටයුතු සිදු කිරීම වෙනුවෙන් ස්ථාපනය කර ඇත. තවද, ද්විත්ව පැලට් රාක්කගත කිරීමේ පද්ධතිය හරහා මෙම මධ්‍යස්ථානයේ ගබඩාකරණ හැකියාව දෙගුණයකින් වර්ධනය කිරීමට ද සිංගර් සමාගම කටයුතු කරයි.

    කේ.එස්.ටී. සමාගම් සමූහයේ දීර්ඝ කාලීන කල්බදු ක්‍රමය යටතේ බෙදාහැරීමේ කේන්ද්‍රස්ථානය පවතින අතර, ඉඩම මිලදී ගනිමින් සිංගර් සමාගමේ අවශ්‍යතාවන්ට අනුව භාණ්ඩ මධ්‍යස්ථානය ගොඩනැගීම සිදු කරනු ලැබුවේ ද එම සමාගම් සමූහයයි.

    සිංගර් (ශ්‍රී ලංකා) සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අසෝක පීරිස් මහතා, උත්සවය සඳහා සහභාගී වූ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත්, අනෙකුත් සම්භාවනීය අමුත්තන්ටත් සිය කෘතඥතාව පළකළේය. මෙරට පුද්ගලික අංශය ද රටේ සංවර්ධනය වෙනුවෙන් දායකත්වය ලබා දෙන බවත්, අතිගරු ජනාධිපතිතුමන්ගේ සහභාගීත්වය සමස්ත පුද්ගලික අංශයටම මහඟු දිරියක් බවත් එතුමා සඳහන් කළේය.

    "මෙතෙක් කලක් මෙම පළාත්වල මෙන්ම දිවයිනේ අනෙකුත් පළාත්වල ද බෙදාහැරීම් කටයුතු සිදුකෙරුණේ කොළඹ පිහිටි ප්‍රධාන බෙදාහැරීම් මධ්‍යස්ථානය සහ උප මධ්‍යස්ථාන හරහායි. මෙම ප්‍රදේශය තුළ භාණ්ඩ බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ඉදි කිරීම මගින් පාරිභෝගිකයන් වෙතට තවදුරටත් සමීප වීමටත් එමගින් ඔවුන් හට වඩාත් විශිෂ්ට සේවාවක් ලබා දීමටත් අපට හැකි වනවා. ඒ වගේම, එමගින් මෙම ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා ද අප දායක වෙනවා" යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    කේ.එස්.ටී සමූහයේ සභාපති කේ.එස්.ටී පෙරේරා මහතා ස්තුති කතාව සිදු කළේය.

    සේයා රූ සටහන : අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඵලකය විවෘත කළ මොහොත. සිංගර් (ශ්‍රී ලංකා) සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අසෝක පීරිස්, කේ.එස්.ටී සමූහයේ සභාපති කේ.එස්.ටී. පෙරේරා යන මහත්වරු ද ඡායාරූපයේ වෙති

    සිංගර් බෙදාහැරීමේ කේන්ද්‍රස්ථානය ගුවනට දිස්වන අයුරු