‘Foreigners Only’ ඉවත් කෙරෙන ලකුණු..

    August, 16, 2017

    දකුණු වෙරළ තීරයේ ඇති ඇතැම් හෝටල් සහ අවන්හල් ‘Foreigners Only‘ (විදේශිකයින්ට පමණයි) යනුවෙන් ප්‍රදර්ශනය කර ඇති පුවරු ඉවත් කිරීමට කටයුතු යොදන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

    “දකුණු වෙරළ තීරයේ හෝටල් කර්මාන්තයේ යෙදෙන ඇතැම් ව්‍යාපාරිකයින් සිය පරිශ්‍ර ඉදිරිපිට ‘Foreigners Only’ පුවරු ප්‍රදර්ශනය කර ඇති බවට වාර්තා වෙලා තිබෙනවා. ඔවුන් දේශීය සංචාරකයින්ට කිසිසේත්ම ඒවාට ඇතුළු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. සෑම පුරවැසියෙකුටම රටේ ඕනෑම තැනක ගමන් කිරීමේ අයිතිවාසිකමක් තිබෙනවා. එයට බාධා කරන්න කාටවත් නීතියෙන් ඉඩ දීලා නැහැ“, යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

    “මේ සඳහා ගත යුතු නිසි පියවර අදාළ අංශ සමඟ සාකච්ඡා කර ඉදිරියේ දී ගැනීමට බලාපොරොත්තු වෙනවා. සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ගෙන එන කර්මාන්තයක්. අපි එය රැක ගත යුතුයි“, යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මේ සම්බන්ධයෙන් පසුගියදා අමාත්‍යවරයා දකුණු පළාත් මහ ඇමතිවරයා හට දැනුම් දී තිබෙන අතර දේශීය සංචාරකයින් හට මෙයින් ඇති වී තිබෙන අපහසුතාවය අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දී තිබේ.