ත්‍රීවීල් මට්ටු කරන්න සිරිපාල තෙවැනි උත්සාහයත් ගනී

    September, 11, 2017

    මාස 08 ට ගැසට් 3 යි. තාමත් නීතිය ක්‍රියාත්මක නැහැ.

    මගී ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන ත්‍රීරෝද රථ සඳහා අනුගමනය කළ යුතු නව නීති මාලාවකින් සමන්විත අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ අත්සනින් යුතුව 2017 සැප්තැම්බර් 08 වන දින ප්‍රකාශයට පත් කර තිබේ.

    අදාළ නිවේදනයෙහි දැක්වෙන්නේ මෙම නියෝග 2017 අංක 04 දරන මෝටර් වාහන (මෝටර් ට්‍රයිසිකල්) නියෝග යනුවෙන් හඳුන්වනු ලබන අතර, එය ඔක්තෝබර් මස 01 වැනි දින සිට ක්‍රියාත්මක විය යුතු බවයි.

    කෙසේ වෙතත් මෙම නියමයන් හි කිසිදු හෝ වෙනසක් නොමැතිව මෙයාකාරයෙන් අතිවිශේෂ ගැසට් පත්‍ර දෙක්ක මීට පෙර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කර තිබිණි.

    මින් පළමු ගැසට් නිවේදනය 2017 ජනවාරි 09 වැනි දි අංක 2001/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය වන අතර එහි අන්තර්ගත නියෝගයන් ක්‍රියාවට නංවන දිනයක් නොමැතිව එය ප්‍රකාශයට පත් කර තිබිණි. මුල් වරට අද දෙරණ විසින් මේ බව අනාවරණය කිරීමෙන් පසුව අදාළ නියෝග 2016 ජනවාරි 26 දින අංක 2003/33 දරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කරමින් මෙම නව නීති 2017 අප්‍රේල් මස 01 දින සිට ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කර තිබුණි.

    කෙසේ වෙතත් මෙම නීති කිසිදු අයුරකින් ක්‍රියාත්මක වීමක් පසුගිය වකවානුවේ දැකගත නොහැකි වූ අතර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අදාල ගැසට් නිවේදනයේ දිනය වෙනස් කිරීමෙන් පමණක් යළි එය ප්‍රකාශයට පත් කර තිබේ. නව ගැසට් නිවේදනයට අනුව එළඹෙන ඔක්තෝබර් 01 වැනි දින සිට හෝ මෙම නියමයන් ක්‍රියාවට නැංවීම බලධාරීන්ගේ වගකීමක් වනු ඇත.

    2017 ඔක්තෝබර් 01 වැනි දින සිට ක්‍රියාත්මක විය යුතු නියෝග ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය පහත දැක්වේ.

    මෙකී නියමයන් සහිතව මීට පෙර ප්‍රකාශයට පත්කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රිකා දෙකෙහි මුල් පිටු පහතින් දැක්වේ.