September, 21, 2017
සෞඛ්‍ය ක්ෂේත්‍ර සංවර්ධනය සදහා වන ලෝක බැංකු (මූල්‍ය සහයෝගය මත) මගින් ක්‍රියාත්මක වන දෙවන සෞඛ්‍ය අංශ සංවර්ධන ව්‍යාපෘතිය (සංරචක II) යටතේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා එක්ව 2016 වසරේ දී දිවයින පුරා පවත්වන ලද ප්‍රජා විද්‍යාත්මක සහ සෞඛ්‍ය සමික්ෂණයේ අවසන් වාර්තාව 2017 සැප්තැම්බර් මස 18 වන දින එළිදක්වන ලදි. අවසන් වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වූ සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ගරු නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා වෙත මෙම වාර්තාවේ පළමු පිටපත පිළිගන්වන ලදි.
වයස අවුරුදු 15-49 අතර කවදා හෝ විවාහ වූ කාන්තාවන් සහ ඔවුන්ගේ වයස අවුරුදු 5ට අඩු දරුවන් පිළිබදව පවත්වන ලද මෙම සමික්ෂණයේ දී එක් රැස් කරන ලද තොරතුරු අතර ප්‍රජා විද්‍යාත්මක තොරතුරු, සෞඛ්‍ය තොරතුරු සහ නිවාස ආශ්‍රිත තොරතුරු ප්‍රධාන වේ. මෙහිදී කාන්තාවන්ගේ ප්‍රජනන සෞඛ්‍ය , පවුල් සැලසුම පිළිබඳ දැනුම සහ භාවිතය, දරු ප්‍රසූතියට පෙර සහ පසු සෞඛ්‍ය තත්වය පිළිබද තොරතුරු, දරුඵල ගැන කැමැත්ත, ඒඩ්ස් හා වෙනත් ලිංගාශ්‍රිත රෝග පිළිබඳ දැනුම, සුවනාරී සායන පිළිබඳ දැනුම, දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ තොරතුරු, දරුවන් හා මව්වරුන්ගේ පෝෂණ තොරතුරු, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පිළිබඳ තොරතුරු ආදිය එක්රැස් කර ඇත. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් දත්ත මත පදනම් වූ තීරණ ගැනීමට අවශ්‍ය විශාල තොරතුරු ගණනාවක් මෙම වාර්තාවේ ඇතුලත් වේ.
2016 ප්‍රජා විද්‍යාත්මක සහ සෞඛ්‍ය සමික්ෂණයට අනුව දරුඵල ලැබීමේ වයසේ (අවු: 15-49) පසුවන කාන්තාවකට ලැබෙන දරුවන් ගණන 2.2 බවත් විවාහක කාන්තාවන් විසින් පවුල් සැලසුම් ක්‍රම භාවිතය දැනට සියයට 65ක් පමණ වන බවත් හෙළිවී ඇත. අවසන් වාර්තාවේ ඇතුලත් තොරතුරු පිළිබද අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල් ආචාර්‍ය ඒ.ජේ. සතරසිංහ මහතා පැවසූවේ ගැබිණි මව්වරුන් සියළුදෙනාම පාහේ පූර්ව ප්‍රසව සායන වෙත පැමිණ වෛද්‍ය උපදෙස් ලබා ගෙන ඇති බවත් ළමා මරණ, ළදරු මරණ හා වයස අවුරුදු 5ට අඩු ළමා මරණ යනාදිය අඛණ්ඩව අඩු වෙමින් පැවතීම වත්මන් සෞඛ්‍ය ක්ෂේත්‍රය අත්කර ගෙන ඇති විශාල ජයග්‍රහණයක් වන බවයි. ප්‍රජාවිද්‍යාත්මක හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාල දත්ත හා දර්ශක ගණනාවක් ඇතුලත් මෙම අවසන් වාර්තාව දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන www.statistics.gov.lk හි තුල ඇතුලත් කර ඇති බව තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (NCD) සහ දෙවන සෞඛ්‍ය අංශ සංවර්ධන ව්‍යාපෘතිය (සංරචක II) හි අධ්‍යක්ෂ වෛද්‍ය එස්.සී. වික්‍රමසිංහ මහත්මිය සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්‍ය ඒ. ජේ. සතරසිංහ මහතා, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අයි.ආර්. බණ්ඩාර මහත්මිය ඇතුළු මෙම ආයතන දෙකෙහි නිලධාරීන් මෙන්ම විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල නිලධාරින් විශාල පිරිසක් සහභාගි වූහ.
Video Story