ෆේස්බුක් නිසා අරවින්ද පොලිසි යයි

    September, 21, 2017

    තම නමින් ක්‍රියාත්මක ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා මහතා පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පැමිණිලි කර තිබේ. මෙහිදී අරවින්ද ද සිල්වා මහතා අවධාරණය කර සිටින්නේ ෆේස්බුක් හෝ වෙනත් කිසිදු සමාජ ජාලයක තම නමින් ගිණුම් නොමැති බවයි.

    ජාතික ක්‍රිකට් පිලේ සිටිය යුතු ක්‍රීඩකයින් සම්බන්ධයෙන් තමා කළා යැයි කියන ප්‍රකාශයක් පසුගිය දිනවල සමාජ ජාල මාධ්‍ය පුරාවට හුවමාරු වී ඇති බවත්, තමන් පුවත්පත් හෝ විද්‍යුත් නාලිකාවලට සම්මුඛ සාකච්ඡා ලබා දුන්නද කිසිදු විටෙක සමාජ ජාල මාධ්‍ය හෝ වෙබ් අඩවිවලට එවැනි කරුණු ප්‍රකාශ කිරීම් සිදුකරන්නේ නොමැති බවත් මේ සුපිරි පිතිකරුවා අවධාරණය කර සිටී.

    මේ සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙස අරවින්ද ද සිල්වා මහතාට උපදෙස් තිබේ.

    1996 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ලබා දීමට සුවිශේෂී දායකත්වයක් ලබා දුන් අරවින්ද ද සිල්වා එවර අවසාන මහා තරඟයේ වීරයා බවට ද පත්විය. 1992 ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා පිලේ නායකයා වූයේ ද අරවින්ද ද සිල්වා යි.