දුම්රියට GPS තාක්ෂණය ආරක්ෂක අමාත්‍යාංශයෙන්

    September, 28, 2017

    ගෝලීය පිහිටුම් පද්ධති (GPS) මත පදනම් වූ දුම්රිය මෙහෙයුම් තොරතුරු පද්ධතියක් ලබාගැනීම මඟින් දුම්රිය මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කැගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබේ.

    එම තාක්ෂණය ඔස්සේ දුම්රිය දෙපාර්තමේන්තුවේ කොළඹ, අනුරාධපුර සහ නාවලපිටිය පාලක මධ්‍යස්ථාන සම්බන්ධ කිරීම, ස්වයංක්‍රීයව දුම්රිය කාලසටහන් සකස් කිරීම, දුම්රිය මෙහෙයුම් සම්බන්ධ සියලු වාර්තා ජනනය කිරීම, දුම්රිය ප්‍රමාද අධීක්ෂණ පද්ධති විශ්ලේෂණය ආදී පුළුල් විෂය පථයක් ආවරණය වන පරිදි දුම්රිය මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට සහ මහජනතාව වෙත දුම්රිය සම්බන්ධ තොරතුරු ලබා දීම සඳහා ගෝලීය පිහිටුම් පද්ධතිය (GPS) තාක්ෂණය යොදා ගැනීම තවදුරටත් පුළුල් කිරීමට යෝජනා වී තිබේ.

    ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාව අනුව රුපියල් මිලියන 31.8ක මුදලකට අදාළ මෙහෙයුම් පද්ධතිය එම අමාත්‍යාංශයෙන් ලබා ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.