පැල්වත්ත සීනි සමාගමට වාරි සංවර්ධන සැලසුමක්

    October, 10, 2017

    උක් වගාබිම්වල ඵලදායිතාව වර්ධනය කරමින් සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් පැල්වත්ත සීනි කර්මාන්තායතනය ආශ්‍රිත උක් වගා බිම් ප්‍රදේශවල රජයේ හා එම සමාගමේ මූල්‍ය දා‍යකත්වයෙන් වාරි සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ යටතේ වැව් 13ක් හා ඇළ මාර්ග වැඩිදියුණු කිරීමටත්, අලුතින් ඇළ මාර්ග, ජල පොකුණු හා නළ ළිං ඉදි කිරීමටත් වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පසුගිය දා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

    රජයට අනුබද්ධ කර්මාන්තායතනයක් වන පැල්වත්ත සීනි සමාගම ඌව පළාතේ අර්ථිකය තුළ ඉතා වැදගත් කර්යභාරයක් ඉටු කරනු ලබන අතර මෙරට වාර්ෂික සීනි අවශ්‍යතාවෙන් 10%ක් පමණ එම ආයතනය විසින් නිපදවනු ලබයි.

    එම සමාගමේ සීනි නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය උක්‍ ගස් වගා කරනු ලැබ ඇති වගාබිම් බොහෝමයක් වර්ෂා ජලයෙන් පෝෂිත ප්‍රදේශ වන අතර ජල හිඟය හේතුවෙන් උක් ගස් අස්වැන්න අඩු වීම නිසා සමාගමේ නිෂ්පාදන කටයුතුවලට බලපෑම් එල්ල වී තිබීම හේතුවෙන් රජය විසින් මෙම පියවර ගෙන තිබේ.