October, 25, 2017
කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, තැරව්කාර ආයතන, ලැයිස්තුගත සමාගම් හා එක්ව ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවති ආයෝජක හමුවෙහිදී විදේශ ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවෙහි ආයෝජනය කෙරෙහි දැඩි උනන්දුවක් දැක්විය. Asia Securities ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් සහ Oxford Business Group හි දායකත්වයෙන් මෙම ආයෝජක හමුව පවත්වන ලදී.
ආයෝජක හමුවෙහි ප්‍රධාන දේශනය පවත්වමින් ශ්‍රී ලංකා මහබැංකු අධිපති අචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය වසර දෙක තුළ කරන ලද වෙනස්කම් හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය පුළුල් වශයෙන් නියම දිශානතියට යොමුව ඇති බවත් අඩු උද්ධමනයක් ඉලක්ක කර ගනිමින් වන ආර්ථික ක්‍රියාදාමයන් සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව කැප වී සිටින බවත්ය.
මෙහිදී ආයෝජකයින් හා ශ්‍රී ලංකා නියෝජිතයින් අතර සාකච්ඡා පවතී අතර ලැයිස්තුගත සමාගම් වන John Keells Holdings PLC, Commercial Bank PLC, Sampath Bank PLC, Tokyo Cement (Lanka) PLC, National Development Bank PLC (NDB), Teejay Lanka PLC, Dialog Axiata PLC, Peoples Leasing & Finance PLC, MTD Walkers PLC සහ Sunshine Holdings PLC යන සමාගම් කෙරෙහි ආයෝජක අවදානය යොමු කෙරිණි.

මෙම ආයෝජක හමුවෙහිදී අදහස් පළකරමින් කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති, රේ අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ, රජයේ 2025 ආර්ථික දැක්ම අනුව යමින් රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශ සඳහාම ප්‍රාග්ධනය උත්පාදන ක්‍රියාවලියට දායකත්වය සැපයීමට සුදානම්ව සිටින බවත්, කොටස් වෙළෙඳපොළ හරහා රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් ප්‍රති ව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට මෙන්ම නව පුවරුවක් හඳුන්වාදීම මඟින් සුළු හා මාධ්‍ය පරිමාන ව්‍යාපාරයන්හි වර්ධනයට අත්වැලක් සැපයීමට කොළඹ කොටස් හුවමාරුව නිරන්තර අවදානයෙන් සිටින බවයි.
ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළෙහි පවතින අවස්ථාවන් පිළිබඳ පැහැදිලි කරමින් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පවසා සිටියේ වර්තමාන වෙළෙඳපොළ තුලින් ඉහළ වටිනාකමක් සහිත වෙළෙඳපොළ මූලධර්ම මත පදනම්වූ, විවිධ වූ ආයෝජන අවස්ථාවන් හරහා ප්‍රතිලාභ අත්පත් කරගැනීමේ අවස්ථාව උදාවී ඇති බවයි.
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතෙහි මූලික ලක්ෂණ පිළිබඳව අදහස් පළකරමින්, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සමාජිකාවක් වන දිල්ශානි විජේවර්ධන මහත්මිය කියා සිටියේ නව පනත ප්‍රාග්ධන වෙළෙඳපොළෙහි ස්ථාවරත්වය සහ පාරදෘශ්‍යභාවය තහවුරු කිරමට දායකත්වය සපයන්නක් බවත්, මෙය දේශීය හා විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ඉවහල් වන බවයි.
එමෙන්ම නව නියාමන න්‍යායපත්‍රය පිළිබඳව අදහස් පල කරමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙහි අධ්‍යක්ෂ ජෙනරාල් වජිර විජේගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ ආයෝජකයින් සඳහා වඩාත් පහසුකම් සලසන නියාමන ක්‍රමවේදයක් සඳහා කැපවන බවයි.
TimesSquare Capital Management හි ආයෝජන කළමනාකරුවෙක් මෙන්ම වසර දහයක ශ්‍රී ලංකාවේ ආයෝජනය පිළිබඳ අත්දැකීම් සපිරි ආයෝජකයෙක් වන Caglar Somek මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව ස්ථායී සංවර්ධන මාවතකට අවතීර්ණ වී ඇති බවත් විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා වන රජයේ ප්‍රතිපත්තිය අනාගතයේ තවදුරටත් වර්ධනය වනු ඇති බවත්ය. තවදුරටත් අදහස් පළකරමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය සහිතව ශ්‍රී ලංකාව තවත් ශක්තිමත් ගමනකට අවතීර්ණ වි ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ආයෝජනය සම්බන්ධයෙන් ලොව දෙවන විශාලතම කොටස් හුවමාරු සමාගම වන NASDAQ හි නියෝජ්‍ය සභාපති Meyer “ Sandy” Frucher ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාවේ වාතාවරණය පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කිරීමට කිසිඳු පැකිලීමක් නොමැති බවය.
Video Story