ICTA හත්වන ‘ඉ-ස්වාභිමානී’ සම්මාන ප්‍රදානෝත්සවය 30වනදා

    November, 15, 2017

    මෙරට ප්‍රමුඛත ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයවන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය සමග එක්ව 'ඉ-ස්වාභිමානී සම්මාන 2017' ප්‍රකාශයට පත් කළේය. සමාජ සුබසිද්ධිය සඳහා බලපෑමක් කළ හැකි ඩිජිටල් නවෝත්පාදන හා නිර්මාණාත්මක නිමවුම් හා යෙදවුම් ජාතික ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණයි.

    ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, මාධ්‍ය හිතවතුන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් නොවැම්බර් මස 30වනදා මෙම සම්මාන උළෙල කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්වේ.

    2009 වසරේ පටන් 'ඉ-ස්වාභිමානී' සම්මාන උළෙල මගින්, සමාජ ඒකාබද්ධතාව, කාර්යක්ෂමතාව, නව සේවා, පුරවැසි බලගැන්වීම් ආදී ඩිජිටල් නවෝත්පාදන හා උසස් තාක්ෂණික විසඳුම් හඳුන්වාදෙන දක්ෂයන් අඛණ්ඩව ඇගයුමට ලක්කර ඇත.

    මේවන විට, ඉ-ස්වාභිමානී සම්මාන උළෙල, මෙරට සමාජය තුළ ජනතාවගේ සැබෑ අවශ්‍යතාවන්ට විසඳුම් ලබාදෙමින් ඔවුන්ගේ ජීවිත තුළ ධනාත්මක බලපෑමක් ඇතිකර තිබෙන විශිෂ්ට ඩිජිටල් නිර්මාණ ඇගයුමට ලක්කෙරෙන ප්‍රධානත ම ජාතික උළෙල ලෙස කීර්තියට පත්ව ඇත. අඛණ්ඩව හත්වන වරටත් සංවිධානය කෙරෙන මෙම සම්මාන උළෙල සඳහා මෙවර අයදුම් 205ක් යොමුවී තිබිණ. මෙම අයදුම් සඳහා තවතවත් දොරටු විවර කිරීමට නව ව්‍යවසායකයන්, සිසුන්, කණ්ඩායම් හා ආයතන ඇතුළු විවිධ අංශවලට අයදුම් කළ හැකිවීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.

    රාජ්‍ය සහ පුරවැසි සහභාගිත්වය, සෞඛ්‍ය සහ සුබසාධනය, ඉගෙනුම් සහ අධ්‍යාපන, පරිසර සහ හරිත බලශක්ති, සංස්කෘතිය සහ සංචාරක ව්‍යාපාර, සුහුරු ජන ස්ථාපනය සහ නාගරීකරණය, ව්‍යාපාර සහ වාණිජ්‍යය, අන්තර්-ග්‍රහණය සහ බලගැන්වීම හා ඩිජිටල් විනෝදාස්වාදය යන කාණ්ඩ නවය යටතේ අයදුම් සලකා බැලිනි.

    "දැනුම, සෞඛ්‍යය, තිරසර පරිසරය ඇතුළු ජනතාවගේ එදිනෙදා ජීවිත වැඩිදියුණු කළ හැකි සේවා රැසක් ඩිජිටල් තාක්ෂණය ඇසුරින් ගොඩනැගීමට හැකිවී තිබෙනවා. සමාජ සුබසාධනය සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන නිර්මාණකරුවන්ගේ නිර්මාණශීලිත්වය සහ කුසලතාව විදහා දැක්වීම සඳහා ඉ-ස්වාභිමානී සම්මාන උළෙල මනා වේදිකාවක් වනවා" යනුවෙන් ICTA ආයතනයේ සභාපතිනී චිත්‍රාංගනී මුබාරක් මහත්මිය සඳහන් කළාය.

    විශිෂ්ටත්වයේ සංකේතයක් ලෙස පමණක් නොව, මෙම සම්මාන උළෙල තවත් කලාපීය සහ ජාත්‍යන්තර සම්මාන රැසකට ඇතුළත්වීමේ මග විවර කරන පදනමක් ලෙස ද ක්‍රියා කරයි. ඉ-ස්වාභිමානී සම්මාන උළෙලේ අවසාන වටය සඳහා සුදුසුකම් ලබන සියලු අයදුම්කරුවන් හට, දකුණු ආසියානු මන්තන් සම්මාන, mBillionth සම්මාන සහ එක්සත් ජාතීන්ගේ WSA (World Summit Awards) සම්මාන සඳහා ද නිර්දේශ වීමේ අවස්ථාව හිමිවේ.

    ඉ-ස්වාභිමානී අයදුම්පත් ඇගයීම WSA සම්මාන උළෙලේ ජාත්‍යන්තර සම්මාන ක්‍රමවේද සහ විනිශ්චය ක්‍රමවේදවලට අනුකූලව සිදු කෙරුණු බවට ඉ-ස්වාභිමානී සංවිධායකයෝ පවසති.

    සම්මාන උළෙලේ සියලු කාණ්ඩවල අයදුම් ඇගයුමට ලක්කිරීම සඳහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් එම ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම හා අත්දැකීම්වලින් පරිපූර්ණ විනිශ්චය මණ්ඩලයක් සහභාගී වූහ.

    2017 WSA සම්මාන උළෙලේ ශ්‍රී ලාංකේය නිර්දේශිත නාමයන් අටෙන් හයක් ම අවසාන වටයට සුදුසුකම් ලැබූ අතර ශ්‍රී ලංකාව දෙවැනි වූයේ අවසාන වටය සඳහා නාමයන් හතක් ඇතුළත් වූ ජර්මනියට පමණි.

    නැවුම් මුහුණුවරකින් සකස්කරන ලද www.eswabhimani.lk ඉ-ස්වාභිමානී වෙබ්අඩවිය එළිදැක්වීම ද මෙම මාධ්‍ය හමුවේදී සිදුවූ තවත් සුවිශේෂී අංගයකි. යාවත්කාලීන කරන ලද ලාංඡනය, අන්තර්ජාල යෙදවුම් සඳහා වැඩිදියුණු කරන ලද වෙබ් පෝටලය, ජංගම දුරකථන මගින් ද භාවිතා කළ හැකි ප්‍රතිචාර දැක්වීමට වඩාත් පහසු භාවිත අන්තර්මුහුණත (User Interface), පසුගිය වසරවල ජයග්‍රාහකයන්ගේ තොරතුරු දැකබලා ගැනීමේ හැකියාව සහ වැඩිදියුණු කරන ලද ඡායාරූප එකතුවකින් ද වත්මන් වෙබ් අඩවිය සමන්විතය.