November, 15, 2017
රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයක් මඟින් හම්බන්තොට වරාය දියුණු කිරීමට අදාළව ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය, චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම (CM Port), හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් (පෞද්ගලික) සමාගම (HIPG) සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (පෞද්ගලික) සමාගම (HIPS) විසින් 2017‑07‑29 දින සහන ගිවිසුමකට අත්සන් තබන ලදී. එකී සහන ගිවිසුමේ විධිවිධාන පරිදි ගිවිසුම අත්සන් කළ දින සිට දින 180ක් ඇතුළත ගිවිසුමේ සඳහන් පූර්ව කොන්දේසි අදාළ පාර්ශ්වයන් විසින් සම්පූර්ණ කළ යුතුව ඇති අතර, ඊට අදාළ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී.
ගිවිසුමේ 4.2 වගන්තිය අනුව පූර්ව කොන්දේසි සම්පූර්ණ කළ පසු CM Port හෝ එහි අනුබද්ධිත ආයතනය විසින් සිය 'ආයෝජන වටිනාකම' ශ්‍රී ලංකා රජය වෙත පහත පරිදි ගෙවිය යුතු වේ.
i ඇප තැන්පතුව වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 5ක් දැනටමත් විශේෂ ගිණුමක තැන්පත් කර ඇති අතර, ගිවිසුම ක්‍රියාත්මක වන දිනයේදී එම මුදල ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත මාරු කළ යුතුය.
ii ගිවිසුම ක්‍රියාත්මක වන දිනෙන් මාස 01ක කාලය තුළදී ඇප තැන්පතුව අඩු කිරීමෙන් අනතුරුව ඉතිරි ආයෝජන වටිනාකමෙන් 10%ක් (වාරික 01) ගෙවිය යුතුය.
iii ගිවිසුම ක්‍රියාත්මක වන දිනෙන් මාස 03ක කාලය තුළදී ආයෝජන වටිනාකමෙන් 30%ක් (වාරික 02) ගෙවිය යුතුය.
iv ගිවිසුම ක්‍රියාත්මක වන දිනෙන් මාස 06ක කාලය තුළදී ආයෝජන වටිනාකමෙන් ඉතිරි 60% (වාරික 03) ගෙවිය යුතුය.
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත CM Port විසින් සිය 'ආයෝජන වටිනාකම' ගෙවීමේ දිනය ඉදිරියට ගෙන ඒමටත්, ගිවිසුම ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයේදී ගෙවනු ලබන මුදල වැඩි කිරීමටත්, පහත සඳහන් පරිදි එකඟ වී ඇත:
i ගිවිසුම ක්‍රියාත්මක වන දිනයේදී ඇප තැන්පතුව අඩු කර ඉතිරි ආයෝජන වටිනාකමෙන් 30%ක් (වාරික 01) ගෙවීම;
ii ගිවිසුම ක්‍රියාත්මක වන දිනෙන් මාසයක් ඇතුළත ආයෝජන වටිනාකමෙන් 10%ක් (වාරික 02) ගෙවීම;
iii ගිවිසුම ක්‍රියාත්මක වන දිනෙන් මාස 06ක් ඇතුළත ආයෝජන වටිනාකමෙන් ඉතිරි 60% (වාරික 03) ගෙවීම;
ඒ අනුව, ඉහත පරිදි අදාළ ගෙවීම් සිදු කිරීමට හැකි වන ලෙස සහන ගිවිසුමේ අදාළ වගන්ති සංශෝධනය කිරීමටත්, ඒ සඳහා අතිරේක ගිවිසුමක් අත්සන් කිරීමටත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story