සැප්තැම්බරයේ දී ඉන්ධන ආනයන වියදම 69% කින් වැඩි වෙලා

    November, 28, 2017

    2017 සැප්තැම්බර් මාසය තුළ දී ඉන්ධන ආනයනය සඳහා දරා ඇති වියදම ඇමරිකානු ඩොලර් මිලියන 298.5 ක් ලෙසින් වාර්තා වේ. මෙය පසුගිය 2016 සැප්තැම්බර් මාසයේ දී ආනයනය කර ඇති ඉන්ධන සඳහා දරා ඇති මුළු වියදම වන ඩොලර් මිලියන 176.3 හාසැසඳීමේ දී 69.3% ක ඉහළ යාමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    මෙහිදී බොරතෙල් ආනයන වියදම ඩොලර් මිලියන 34.3 සිට ඩොලර් මිලියන 79.9 දක්වා 133% කින් ද, පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයනය සඳහා දරා ඇති වියදම ඩොලර් මිලියන 132.2 සිට ඩොලර් මිලියන 218.4 දක්වා 65.2% කින් ද ඉහළ ගොස් තිබේ. මේ අතර ගල්අඟුරු ආනයන වියදම පසුගිය සැප්තැම්බර් මාසයේ දී 97.4% ක පහළ යාමක් වාර්තා කර ඇත. ඒ ගල්අගුරු ආනයනය සඳහා දැරූ වියදම ඩොලර් මිලියන 9.9 සිට ඩොලර් මිලියන 0.3 දක්වා පහළ යාම හේතුවෙනි.

    2017 සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති ආහාර පාන වර්ග සඳහා දර ඇති මුළු වියදම ඩොලර් මිලියන 131.2 කි. මෙය 2016 සැප්තැම්බර් මාසයේ අදාළ අගය වන ඩොලර් මිලියන 144.8 හා සැසඳීමේ දී 9.4% ක අඩු වීමකි.

    මේ අනුව 2017 සැප්තැම්බර් මාසයේ දී ආහාරපානවලට වඩා වැඩි ආනයන විදයමක් ඉන්ධන වෙනුවෙන් දැරීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත.