ටිකට් මිල රු. 5,999/- යි. බද්ද රු. 7,000/- යි. පිටරට යද්දී ටිකට් වටිනාකමට වඩා බදු ගෙවන්න වෙලා

    November, 29, 2017

    සංචාරක ව්‍යාපාරය අද වන විට දේශීය වශයෙන් විශාල ආදායම් මාර්ගයක් ගෙන දෙනු ලබන කර්මාන්තයක් බවට පත්ව තිබෙන අතර පසුගිය වසර කිහිපය පුරාවටම විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් ලද ආදායම හැරුණු කොට ශ්‍රී ලංකාංවට වැඩිම විදේශ විනිමයක් ගෙන ආ කර්මාන්තය බවට ද එය පත්ව ඇත.

    කෙසේ වෙතත් සංචාරක ව්‍යාපාරයේ දී ගුවන් ගමන් යනු ඉහළම ප්‍රමුඛත්වය හිමිවන සාධකය ලෙසින් හැඳින්විය හැකි අතර වර්තමානයේ දී බොහෝ සංචාරකයින් ගුවන් ගමන් ටිකට්පත් සඳහා ගෙවන මිල පිළිබඳව ද වැඩි සැලකිල්ලක් දක්වනු ලබන බව සැබෑවකි.

    එසේම අද වන විට බොහෝ ශ්‍රී ලාංකිකයින් ද සිය නිවාඩු සංචාර සඳහා පිටරට වෙත යාමට උනන්දු වන අතර එහිදී මිල අඩු ගුවන් සේවා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇත.

    අද වන විට අඩුම ශ්‍රී ලංකාවේ සිට අඩුම මිලකට ගුවන් ටිකට්පතක් ලබා ගත හැකි ගමනාන්තයක් වන්නේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් ගුවන් තොටුපළයි. ඒ එයාර් ඒෂියා ගුවන් සේවයෙනි. එය අඩු මිල ගුවන් සේවයකි.

    මෙහිදී ශ්‍රී ලංකා මුදලින් රුපියල් 5,999.00 ක් වැනි මිලකට කොළඹ බණ්ඩාරනායක ගුවන්තොටුපළේ සිට ක්වාලාලාම්පූර් හි ක්වාලාලාම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත යාමට ටිකට් පතක් මිල දී ගත හැකි අතර එම මිලටම එහි සිට මෙහි පැමිණීමට ද ටිකට්පතක් ලබා ගත හැකිය.

    එහෙත් මෙහි ඇති විශේෂත්වය වනුයේ ශ්‍රී ලංකාවෙන් බැහැර වීමේ දී රුපියල් 7,000.00 ක ගුවන්තොටුපළ බද්දක් ගෙවීමට සිදුවීමයි. සැබැවින්ම මෙය ගුවන් ටිකට්පතේ මිල ද ඉක්මවා ගිය බදු මුදලකි. මේ අනුව 116% ක බදු මුදලක් ගෙවිය යුතු වේ.

    කෙසේ වෙතත් ක්වාලාලාම්පූර් හි සිට ශ්‍රී ලංකාවට පැමිණීමේ දී ගුවන් ටිකට් පතේ ගාස්තුව ශ්‍රී ලංකාවේ සිට ක්වාලාලාම්පූර් දක්වා වන රු. 5,999.00 වටිනාකමට සමාන වුව ද එහිදී ගෙවන්න වන්නේ ඉතා අඩු බදු ප්‍රමාණයකි. එහිදී ගුවන්තොටුපළ බද්ද රු. 130.00 ක පමණක් වන අතර මීට අමරතව රු. 1,674.00 ක මගී සේවා ගාස්තුවක් හා රු. 100.44 ක භාණ්ඩ හා සේවා ගාස්තුවක් ගෙවිය යුතුය. ඒ අනුව ගෙවිය යුතු මුළු බදු වටිනාකම රු. 1,904.44 කි.

    ශ්‍රී ලංකාවෙන් බැහැර වීමේ දී ගෙවිය යුතු ගුවන්තොටුපළ බද්ද සෑම මගියෙකුටම එක සමාන වේ. එය මිල අඩු පංතියක වුවද, ඉතා මිල අධික ව්‍යාපාරික හෝ පළමු පංතියේ හෝ වුව ද ගෙවිය යුතු වන්නේ රු. 7,000.00 ක් පමණි. එබැවින් එය මෙයාකාරයෙන් ‘බජට් එයාර්ලයින්‘ වලින් ගමන් ගන්නා මගීන්ට විශාල බද්දක් වුවද ඇතැමෙකුට එය සොච්චමක් ලෙස පෙනෙන්නට පුළුවන.