සාර්ථක ව්‍යාපාරික හමුවක් ජනපති ප්‍රධානත්වයෙන් සෝල් නුවර දී

    November, 30, 2017

    දකුණු කොරියාවේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සහභාගී වූ සාර්ථක ව්‍යාපාරික හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(29) පස්වරුවේ සෝල් නුවර දී පැවැත්විණි.
    නැගෙනහිර ආසියානු කලාපයේ ප්‍රධාන පෙළේ සමාගම්වල සියයකට අධික කොරියානු නියෝජිත පිරිසක් මෙම හමුවට එක්ව සිටි අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් 20කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.
    ප්‍රධාන පෙළේ දකුණු කොරියානු ව්‍යවසායකයින් වන KBIZ, FKI, KCCI, KITA යන සමාගම්වල සභාපතිවරුන් තමන් සිදු කිරීමට අපේක්ෂා කරන ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී කරුණු ඉදිරිපත් කළහ.
    ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා සහ එහිදී සැපයෙන පහසුකම් පිළිබඳව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් ආයෝජකයින් දැනුවත් කරනු ලැබීය.
    මෙම හමුවේ පිළිගැනීමේ කතාව සිදු කළ දකුණු කොරියාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන  KBIZ සමාගමේ සභාපති Park Sung-Taj   මහතා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තම සාර්ථක ව්‍යාපෘති පිළිබඳ අදහස් පළ කළ අතර, ශ්‍රී ලංකාව ආයෝජන සඳහා ඉතා සුදුසු රටක් බවත් එහි ආයෝජන සඳහා නොබියව ඉදිරිපත් වන ලෙස තමා දකුණු කොරියානු ආයෝජකයින්ට ආරාධනා කරන බවත් ප්‍රකාශ කළේය.
    ස්තූති කතාව දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මනීෂා ගුණසේකර මහත්මිය විසින් සිදු කළාය.