රාජ්‍ය වැවිලි සමාගම්වල කාර්යසාධනය ඉහළ නැංවීමට පියවර

    December, 19, 2017

    නව තාක්ෂණය හා භෝග වර්ග හඳුන්වා දීම, ඉඩම් සහ ස්වාභාවික සම්පත් ප්‍රශස්ත ලෙස උපයෝජනය කිරීම, පෞද්ගලික ආයෝජන වෙත යොමු වීම, ආයතනික සංවර්ධනය සහ වැවිලි ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වන ප්‍රජාව මුහුණ දෙන දුෂ්කරතා සඳහා විසඳුම් ලබා දීම ආදී ක්‍රියාමාර්ග තුළින් රාජ්‍ය වැවිලි වැවිලි සමාගම්වල කාර්යසාධනය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.

    ඒ අනුව, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ, ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB), ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව (SLSPC), ඇල්කඩුව වැවිලි සමාගම (EPL), ගල්ඔය වැවිලි සමාගම (GPL) සහ ශ්‍රී ලංකා කජු සංස්ථාව (SLCC) යන රාජ්‍ය වැවිලි සමාගම්වල මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    රාජ්‍ය වැවිලි සමාගම්වල භාරකාරත්වය යටතේ ඉඩම් හෙක්ටයාර 49,654ක් පමණ පවතින අතර, එම වැවිලි සමාගම් විසින් සලසනු ලබන සෘජු රැකියා අවස්ථාවන් සංඛ්‍යාව 16,373ක් වේ. දුර්වල මූල්‍ය තත්ත්වය, ව්‍යවස්ථාපිත වගකීම් අධික වීම, යාවත්කාලීන නොවූ කෘෂිකාර්මික භාවිතයන්, කළමනාකරණ දුර්වලතා සහ විවිධ බාහිර හේතු සාධක නිසා මෙම වතු සමාගම් විසින් දිගු කලක් තිස්සේ අඩු කාර්යසාධනයක් පෙන්නුම් කරනු ලබයි.