ජේ.සී. වැලිඅමුණ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙසේ කියයි

    January, 18, 2018

    මෑත කාලීනව ජේ.සී. වැලිඅමුණ වාර්තාව සම්බන්ධයෙන් පළවූ විවිධ පුවත්පත් වාර්තා හා අදහස් සැලකිල්ලට ගනිමින්, ශ්‍රීලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒ සම්බන්ධයෙන් ගන්නා ලද පියවර පිළිබඳ පැහැදිලි කිරීමට අදහස් කරන්නෙමු.

    2015 පෙබරවාරි මාසයේදී එවකට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගරු අර්ජුන රණතුංග මැතිතුමා විසින් නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විමර්ශන මණ්ඩලයක් පත් කරන ලදී. එහි අරමුණ වූයේ පහත දැක්වෙන කරුණු සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කොට බැලූ බැල්මට පෙනෙන සාක්ෂි තිබේදැයි තහවුරු කර ගැනීමය.

    (අ) 2015 පෙබරවාරි මාසයේදී වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීමට පෙර කටයුතු කළ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් සිය බලය අයුතු ලෙස භාවිතා කර ඇතිද යන වග

    (ආ) ගුවන් යානා මිලදී ගැනීමේදී/ කල්බදු පදනම යටතේ ලබාගැනීමේදී අක්‍රමිකතා සිදුවී ඇතිද යන වග

    (ඇ) රුපියල් මිලියන 25ට වඩා වැඩි වටිනාකමකින් යුතු භාණ්ඩ හා සේවා සම්බන්ධ ප්‍රසම්පාදන කටයුතු වලදී නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කර ඇතිද යන වග

    (ඈ) ගුවන් සේවයේ නිසි ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපාන බාහිර මැදිහත්වීම් සිදුවී ඇතිද යන වග

    2015 ජූලි මස පැවති ගරු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානිත්වයෙන් යුතු ආර්ථික කටයුතු සම්බන්ධ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවෙහි රැස්වීමකදී, ගුවන් සේවා අමාත්‍යංශය විසින් මෙම වාර්තාව සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමාගේ මතය විමසා ඇති බවත් එම වාර්තාවෙහි අඩංගු විවිධ සිද්ධීන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මූල්‍ය අපරාධ පරීක්ෂණ අංශය වෙත යොමු කර ඇති බවත් පැහැදිලි කරන ලදී. එම රැස්වීමේදී ම, මෙම වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගන්නා ලද පියවර සම්බන්ධයෙන් වාර්තාවක් සපයන ලෙස ශ්‍රීලංකන් ගුවන් සමාගමෙහි සභාපතිතුමා වෙත නිර්දේශ කරන ලදී.

    එම අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ නිර්දේශ අනුව, අධ්‍යක්ෂ මණ්ඩලයේ ත්‍රිපුද්ගල කමිටුවක් විසින් ජේ.සී. වැලිඅමුණ වාර්තාවේ සඳහන් වූ කරුණු සම්බන්ධයෙන් ගන්නා ලද පියවර සම්බන්ධ, තොරතුරු අඩංගු සවිස්තර වාර්තාවක් සැපයීමට කටයුතු කරන ලදී. මෙම සවිස්තර වාර්තාව අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ගරු කබීර් හෂීම් මැතිතුමා, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු එරාන් වික්‍රමරත්න මැතිතුමා හා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ, ගුවන්සේවා අමාත්‍යංශ ලේකම් ඩී. ස්වර්ණපාල, මුදල් අමාත්‍යංශයේ සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ උපදේශක ආර්. පාස්කරලිංගම් යන මහත්වරුන්ට ද ලබාදීමට කටයුතු කරන ලදී. 2017 සැප්තැම්බර් මාසයේදී මේ සම්බන්ධයෙන් වූ සමාගමෙහි සියළු පිළිතුරු අඩංගු ලිපිගොනුවක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා වෙත ලබාදීමට කටයුතු කරන ලදී. එමෙන්ම මේ සම්බන්ධයෙන් යාවත්කාලින කිරීමක් 2018 ජනවාරි මසදී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ගරු කබීර් හෂීම් මැතිතුමා වෙත ද ලබාදීමට කටයුතු කරන ලදී.

    ඉහත අධ්‍යක්ෂ මණ්ඩලයේ ත්‍රිපුද්ගල කමිටුව විසින් පරීක්ෂණ සිදු කරන අතරේදීම සමාගමේ සමහර සේවකයින් බරපතල වංචා හා දුෂණ විමර්ශන ජනාධිපති කොමිසම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මුල්‍ය අපරාධ පරීක්ෂණ අංශය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත ප්‍රකාශ හා ලේඛන ලබාදීම සඳහා කැඳවා ඇති බවද සඳහන් කල යුතුය. මෙම බාහිර පරීක්ෂණ වර්තමානයේදීත් සිදුකරනු ලබන අතර ඒවා අධ්‍යක්ෂ මණ්ඩලයේ සීමාවෙන් පරිබාහිර වේ.

    2016 ජූලි මාසයේදී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ගරු කබීර් හෂීම් මැතිතුමා වැලිඅමුණ වාර්තාවෙහි සඳහන් මූල්‍යමය ගණුදෙනු හා කරුණු සම්බන්ධයෙන් නීතිමය විගණනයක් සිදුකිරීම සම්බන්ධයෙන් සොයා බලන ලද නමුත්, ඒ සඳහා වැයවන අධික වියදම හේතුවෙන් අමාත්‍යතුමා විසින් මෙම තීරණය අත්හරින ලදී.

    එබැවින්, බහුතර ප්‍රචාරයන්හි කෙසේ සඳහන් වූවදශ්‍රීලංකන් ගුවන් සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ජේ.සී. වැලිඅමුණ වාර්තාවෙහි අභ්‍යන්තර හා විනය ගැටළු සම්බන්ධයෙන් හැකි සියළු පියවරයන් ගෙන ඇති බව සඳහන් කළ යුතුය.