උද්ධමනය වැඩිවෙද්දී මහ බැංකුවේ අළුත්ම පොලී තීරණය මෙන්න!

    February, 24, 2015

    නව රජයේ අතුරු අයවැය මගින් බදු අඩුකරමින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හමුවේ පාරිභෝගික මිල ගණන් වැඩිවීම සහ රුපියල කෙරෙහි පීඩනයක් ඇති වෙමින් තිබුණද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකුවල පොලී අනුපාතය තීරණය වීමට බලපාන ප්‍රතිපත්ති පොලී අනුපාත මේ පෙබරවාරි මාසයේදීත් වෙනස නොකර තබා ගැනීමට තීරණය කර තිබේ.

    මහ බැංකුව පවසා තිබෙන්නේ පුද්ගලික අංශය ලබාගත් ණය ප්‍රමාණය 2014 දෙසැම්බර් මාසයේදී රුපියල් බිලියන 76.5 ක් දක්වා වාර්තාගත ලෙස වර්ධනය වී තිබෙන බවයි.

    පුද්ගලික අංශය විසින් 2015 වසරේදීත් බැංකු ක්‍රමයෙන් ලබාගන්නා ණය ප්‍රමාණය වර්ධනය වනු ඇතැයි මහ බැංකුව සඳහන් කර තිබේ. 2015 ජනවාරි අවසන් වනවිට මෙරට උද්ධමනය සියයට 3.2 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර 2014 දෙසැම්බර් මාසයේදී උද්ධමනය තිබුණේ සියයට 2.1 ක් ලෙසයි.

    මහ බැංකුව පවසා තිබෙන්නේ ඛනිජ තෙල් මිල අඩුකිරීම සහ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල අඩුකිරීම නිසා ඉදිරියේදී උද්ධමනය සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ යනු ඇති බවයි.

    මේ වසරේ මේ දක්වා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 1.4 කින් පමණ අව ප්‍රමාණය වී තිබීමද කැපී පෙනේ.

    මෙවැනි ආර්ථික පරිසරයක් තුළ මහ බැංකුව පවසා තිබෙන්නේ වාණිජ බැංකුවල පොලී අනුපාත තීරණය කිරීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත මේ පෙබරවාරි මාසයේදී සියයට 6.5 ක් සහ සියයට 8.0 ක් ලෙස නොවෙනස්ව පවතිනු ඇති බවයි.