අනිද්දා ගෑස් මිල 500 කින් වැඩිවෙන්නත් පුළුවන් – ඇමති කියයි

    February, 21, 2018

    ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මිල ඉහළ දැමීම සඳහා මෙරට ගෘහස්ථ ගෑස් අලෙවියේ නිරත සමාගම් දෙක වන ලාෆ්ස් සහ ලිට්රෝ සමාගම් විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබේ. කෙසේ වෙතත් විෂය භාර අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා මේ සම්බන්ධයෙන් ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක දී කිටා සිටියේ, ගෑස් මිල ඉහළ දැමීම සඳහා මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවයි.

    මේ පිළිබඳ අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ලාෆ්ස් ගෑස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්. කේ. එච්. වෑගපිටිය මහතා කියා සිටියේ පවතින මිලට ගෑස් අලෙවි කළ නොහැකි බවත්, මිල සූත්‍රය පැවතුණා නම් රුපියල් 400 කින් පමණ ගෑස් සිලින්ඩරයක මිල වැඩි විය යුතු බවත්ය. නැව් ගාස්තු වැඩිවීම, රුපියල අවප්‍රමාණය වීම, ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම යනාදී කරුණු මෙම තත්ත්වයට බලපා ඇති බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    මේ සම්න්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා වන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. “පාරිභෝගික අධිකාරියට, එක් එක් ආයතන තම භාණ්ඩ මිල ගණන් ඉහළ දමන්න කියලා ඉල්ලීම් කිරීම එදා ඉඳන් වුණු දෙයක්. ඒකට සභාපතිවරයා ඉන්නවා, මිල නියම කිරීමේ කමිටුවක් තිබෙනවා. ජීවන වියදම් කමිටුවක් තිබෙනවා. මේ හැම එකටම ඉදිරිපත් කරලා තමයි තීන්දුව දෙන්න ඕනේ. සමහරවිට අනිද්දා 500 කින් වැඩිවෙන්නත් පුළුවන්. සමහරවිට මාසයකින් 200 කට අඩුවෙන්නත් පුළුවන්.“