ශ‍්‍රී ලංකාවේ වාහන එකලස් කිරීමට ‘මහින්ද්‍රා’ – ‘අයිඩියල් මෝටර්ස්’ එක්වෙයි

    April, 4, 2018

    ඉන්දියාවේ ස්ථාපිත ඇ.ඩො. බිලියන 19ක් වටිනා දැවැන්ත ‘මහින්ද්‍රා සමූහ සමාගමේ’ සාමාජික ‘සී/ස මහින්ද්‍රා ඇන්ඞ් මහින්ද්‍රා’ සහ ශ‍්‍රී ලංකාවේ ‘අයිඩියල් සමූහ සමාගමට’ 100%ක් අනුබද්ධ ආයතනයක් වන ‘ සී/ස අයිඩියල් මෝටර්ස්’ පසුගිය සතියේදී ‘බද්ධ ව්‍යාපාරයකට’ එළඹුණේ, ශ‍්‍රී ලංකාවේ වාහන එකළස් කිරීමේ ව්‍යාපාරයකට දොරගුළු විවර කරමිනි.

     

    මෙම බද්ධ ව්‍යාපාරයෙන් 35%ක අයිතියක් ‘මහින්ද්‍රා’ වෙත හිමිවන අතර, ඉතිරි 65%ට හිමිකම දරනුයේ ‘අයිඩියල් මෝටර්ස්’ ය. ‘අයිඩියල් මෝටර්ස්’ පසුගිය වසර 9ක කාලයක් පුරාවට, විශ්වාසදායක මහින්ද්‍රා බෙදාහැරීම් ආයතනයක් වූ අතර මෙම නවතම බද්ධ ව්‍යාපාරය හේතුවෙන්, ශ‍්‍රී ලංකාව තුළ මහින්ද්‍රා අලෙවි කටයුතු තවතවත් ශක්තිමත් පැවැත්ම තහවුරු වේ. මෙම නවතම නිෂ්පාදනාගාරය, මහින්ද්‍රා විශේෂඥ කණ්ඩායමේ අධීක්ෂණය යටතේ - අතිනවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විතව වසරක් තුළදී ඉදිකිරීම් අවසන්කිරීමට නියමිත ය.

     

    සංජේ ජාදෙව්, උප  සභාපති, ජාත්‍යන්තර මෙහෙයුම් ප‍්‍රධානී - ඒ.එෆ්.එස්. (දකුණු ආසියා), සී/ස මහින්ද්‍රා ඇන්ඞ්  මහින්ද්‍රා අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ ‘‘මහින්ද්‍රා හි ප‍්‍රමුඛතම අපනයන වෙළෙඳපොළවල් තුනෙන් එකක් ලෙස ශ‍්‍රී ලංකාව නම්කළ හැකියි. ‘අයිඩියල් මෝටර්ස්’ සමග අද දින අප ආරම්භ කරන මේ කටයුත්තත් සමග අප සමාගම් දෙකටම ශ‍්‍රී ලංකාව තුළ නව වෙළෙඳ අවස්ථා උදාකරගැනීමට අඩිතාලමක් වැටෙනවා. ශ‍්‍රී ලංකාව තුළ අපේ මෙහෙයුම් වර්ධනය කරගැනීමට අපේ විශාල දැක්මක් තිබෙන අතරම, අද අපි මේ ආරම්භ කරන කටයුත්ත එහි අතිවිශේෂ සන්ධිස්ථානයක් ලෙස නම්කළ හැකියි. නව්‍ය තාක්ෂණය, පාරිභෝගික අවශ්‍යතා සහ ප‍්‍රතිපත්තිවල තිරසාර පැවැත්ම යන සාධක නිසා අද රථවාහන වෙළෙඳපොළ මුහුණ පා ඇති වෙනස්කම් තවදුරටත් වැඩි වී තියනවා. ඒ නිසා, නව වෙළෙඳපොළ ප‍්‍රවණතා, විකල්ප අවස්ථා සහ අන්‍යෝන්‍ය එකමුතුව නිසා වැඩි ප‍්‍රතිලාභ හිමිවෙන අවස්ථා පිළිබඳ කල්ඇතුව අපේක්ෂාවෙන් පසුවීම අවශ්‍යයි.

     

    නලීන් වෙල්ගම, නිර්මාතෘ සහ විධායක සභාපති, සී/ස අයිඩියල් සමූහ සමාගම, අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ ‘‘එක්දාස් නමසිය හැටේ දශකයේ දී, දිවංගත කාර්මික ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වූ උපාලි විජේවර්ධන මහතා, ප‍්‍රමුඛ ජාත්‍යන්තර නිෂ්පාදකයන් දෙදෙනෙකුගේ බලපත‍්‍ර එකඟතාවකින් වාහන එකළස් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම පිළිබඳව අනාගත පෙරදැක්මක් සහිතව සිටියා. අද අයිඩියල් මෝටර්ස්, මහින්ද්‍රා සමග ඍජුව අත්වැල් බැඳගෙන අභිමානවත් අයුරින් ප‍්‍රථම වාහන එකළස් කිරීමේ මධ්‍යස්ථානය පිහිටුවීමට පූරෝගාමී වෙනවා. මෙම බද්ධ ව්‍යාපාරය ගොඩනැගෙන්නේ, එක ප‍්‍රධාන හේතුවක් නිසයි. එනම් මෙම සමාගම් දෙක දැනට දශකයක විතර කාලයක් මුළුල්ලේ පවත්වාගෙන එන අපූරු, අග‍්‍රගණ්‍ය සුහද සබඳතාවය... මහින්ද්‍රා සහ අයිඩියල් මෝටර්ස් සමාගම් දෙකේම කැපවීම සහ විශේෂඥතාව, මෙම ක්ෂේත‍්‍රයේ තවතවත් අලූත් නිම්වළලූ පුළුල්කරන බව මා විශ්වාසය පළකරනවා...’’

     

    මෙම නවතම කටයුත්ත පිළිබඳ තවදුරටත් අදහස් දක්වමින්, වෙල්ගම මහතා ප‍්‍රකාශ කළේ, ‘‘මෙම නව මධ්‍යස්ථානය, මානව ප‍්‍රාග්ධන සංවර්ධනයට පමණක් නොව, දේශීය වාහන උපාංග නිෂ්පාදකයන්ගේ සාමූහික සංවර්ධනයටද දායකවනු ඇත. එහිදී, මහින්ද්‍රා හි ගෝලීය විශේෂඥතාව යටතේ, ජාත්‍යන්තර ප‍්‍රමිතිවලට අනුකූලව නිෂ්පාදන තත්ත්වය ඉහළ නංවාගැනීමටත් ඔවුන්ට අවස්ථාව හිමිවෙනවා. මෙය රථවාහන නිෂ්පාදන කර්මාන්තයේ දැවැන්ත ඉදිරි පිම්මක් වන අතර, ‘ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිතයි’ කියන පාඨයට සැබෑ වටිනාකමක් එකතුවීමක්. ඒ හේතුවෙන්, ජාතික නිෂ්පාදිත වර්ධනයට වඩාත් පුළුල් අවස්ථා උදාවනු ඇත.

     

    තවද, මෙවැනි කාර්යයකට මුල්වන හැමකෙනාටම, ‘වසර ගණනාවක දැඩි පරිශ‍්‍රමයෙන් හා පෞද්ගලික කැපකිරීම්වල ප‍්‍රතිඵලයක් ලෙස මෙවැනි අනභිබවනීය සංධිස්ථානයක්’ කරායාමේ හැඟීම දැඩි ආත්ම තෘප්තියක් ගෙනදෙන බව අත්විඳින්නේ’ එවැන්නක් කළ අයෙකුම පමණයි. කෙසේවෙතත්, මට මෙහිදී දැනෙන්නේ ‘සැබෑ ශ‍්‍රී ලාංකික වාහනයක්/ මෝටර් රථයක් බිහිකිරීමට හැකිවුණා කියන අග‍්‍රගණ්‍ය සිතුවිල්ල බවද’ ඒ මහතා ප‍්‍රකාශ කළේය.

     

    අරවින්ද ද සිල්වා, නියෝජ්‍ය සභාපති - අයිඩියල් සමූහ සමාගම උත්සවය අමතමින් ප‍්‍රකාශ කළේ ‘‘අයිඩියල් මෝටර්ස්, පාරිභෝගිකයන්-කේන්ද්‍රකරගත් වාහන සමාගමක්. එහි දැක්ම, දැඩි තරගකාරීත්වය මධ්‍යයේදීත් අග‍්‍රගණ්‍ය නිෂ්පාදන හා සේවා සඳහා පාරිභෝගිකයන්ගේ ඉහළම තේරීම බවට පත්වීමයි. අද මේ ආරම්භ කළ අතිශය වැදගත් මෙහෙවර, සමාගම් දෙකටම වඩාත් හොඳ මිලකට වෙළෙඳපොලට නිෂ්පාදන ලබාදීමට අවස්ථාව සලස්වනු ඇත.’’