මහ බැංකුව අඩු පොළියට රු. මිලියන 28,000 ක බිල් වෙන්දේසි කළ හැටි

    April, 11, 2018

    ඊයේ (10) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලියන 28,000  ලංසු භාර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.

    මෙහිදී දින 91 සහ දින 182 පරිණත කාලයන්ගෙන් යුතු භාණ්ඩාගාර බිල්පත් සඳහා ලැබී තිබුණු ලංසු කිසිවක් අනුමත කර නැත.

    දින 364 පරිණත කාලයකින් යුතු භාණ්ඩාගාර බිල්පත් වෙනුවෙන් රුපියල් මිලියන 64,044 ක ලංසු ඉදිරිපත්ව තිබුණු අතර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණු රුපියල් මිලියන 28,000 ක ණය අවශ්‍යතාවය එමඟින් සපුරා ගන්නා ලදී.

    මෙවර වෙන්දේසියේ ඇති විශේෂත්වය නම් පසුගිය වෙන්දේසියේ දී දින 364 බිල්පත් සඳහා තීරණය වූ 9.91% ක බර තබන ලද සාමාන්‍ය වාර්ෂික ඵලදා අනුපාතිකයට වඩා අඩු අනුපාතිකයක් මෙවර තීරණය වී තිබීමයි. මෙවර වෙන්දේසියේ එම අනුපාතිකය 9.71% කි.