ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ගැටලු ජනපතිගේ අවධානයට

    April, 11, 2018

    ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ පවතින ශිල්පීන්ගේ හිඟය පියවීම සඳහා අවශ්‍ය විසඳුම් ඇතුළත් යෝජනාවලියක් සකස්කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමන් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දෙයි.

    එම යෝජනාවලිය සකස් කිරීම සඳහා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම්වරු දෙදෙනාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ පසුගිය දා (09) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

    ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට අදාළ වෘත්තීය පුහුණු පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම මෙන්ම එම පාඨමාලා සඳහා තරුණයින් ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙළක් පිළිබදව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

    පැරණි ගොඩනැගිලි කඩා ඉවත් කිරීමේදී, ඉවත් කෙරෙන පස් සහ ගල් ප‍්‍රවාහනයේදී මතුව ඇති නීතිමය බාධාවන් පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කෙරුණු අතර, එහිදී පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ කඩා ඉවත්කරන ලද ගොඩනැගිලිවල පස් සහ වැලි ඉවත්කිරීමේදී නීතිමය බාධාවකින් තොරව ඒවා ප‍්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය චක‍්‍ර ලේඛයක් ඉදිරියේදී නිකුත් කිරීමට මේ වන විටත් පියවර ගෙන තිබෙන බවයි.

    අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ද, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරින් ද පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    Video Story

    Stock Market

    Exchange Rates