ICTA මුල්පුටුව මහාචාර්ය රොහාන් සමරජීවට

    April, 17, 2018

    විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදනය හා සංවර්ධන උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සදහා පිහිටුවන ලද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරනු ලැබ ඇත.

    නව අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ලෙස මහාචාර්ය රොහාන් සමරජීව මහතා පත්කර ඇත.

    මහාචාර්ය සමරජීව මහතා ICTA ආයතනය විසින් ක්‍රියාත්මක කරන ලද ඉ-ශ්‍රී ලංකා ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංවර්ධන වැඩපිලිවෙළේ මුලික සැලසුම් සකස් කිරීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන ලදී. මහාචාර්ය සමරජීව මහතා විදුලි සන්දේශ හා නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන්ද කටයුතු කර ඇත.

    නව අධ්‍යක්ෂ මණ්ඩලය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය, සයිබර් ආරක්ෂණය හා ව්‍යාපාර ක්‍රියාවලි බාහරකරණය (BPO) පිළිබඳ විශේෂඥයින්ගෙන් හා විද්වතුන්ගෙන් සමන්විත වේ. නව පත්වීම් කර සතියක් ඇතුලත අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දැනට ක්‍රියාත්මක කරගෙන යමින් තිබෙන ව්‍යාපෘති හා ආයතනයේ වත්මන් ව්‍යුහය හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ පසුවිපරමක් කිරීම ආරම්භ කළ බවද සදහන් කළ මහාචාර්ය රොහාන් සමරජීව මහතා, ICTA ආයතනය රාජ්‍ය, පෞද්ගලික හා සිවිල් සමාජීය කොටස් කරුවන් සමග ඉතා සමීපව කටයුතු කරමින් දැනට ක්‍රියාත්මක කරමින් සිටින සියළුම ව්‍යාපෘති ආයතනයේ කාර්යක්ෂමතාවයටත් එමගින් රාජ්‍ය අංශයේ ඵලදායීතාව, ආර්ථික සංවර්ධනය හා සමාජීය ඒකාබද්ධතාවය සදහා දායක වන ඩිජිටල් ව්‍යපෘති ප්‍රමුඛතා සකස් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බවද සදහන් කළේය.

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය වඩාත් ඵලදායී ලෙස සමාජ ආර්ථික සංවර්ධනය සදහා යොදා ගැනීමේදී සියළුම පාර්ශවයන්ගේ විශ්වාසනීය භාවය දිනා ගිනිමින් ඉදිරියට ගමන් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ නායකත්වය හා සේවක කැපවීම ඉවහල් වනු ඇතැයි මහාචාර්ය රොහාන් සමරජීව මහතා විශ්වාසය පළ කළේය.