හරිත ගොඩනැගිලි කවුන්සිලයේ Go Green වැඩසටහනට බ‍්‍රැන්ඩික්ස් සහාය

    June, 25, 2018

    ශ‍්‍රී ලංකාවේ හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBCSL) විසින් සංවිධානය කළ පාරිසරික දැනුවත් කිරීමේ සතියක් පසුගියදා ඉතාමත් සාර්ථකව පැවැත්වූ අතර ඒ සඳහා පරිසර හිතකාමී නිෂ්පාදනයේ පුරෝගාමියෙකු වන බ‍්‍රැන්ඩික්ස් සමාගමේ සහයෝගයද ලැබී තිබුණි. එම සතිය අවසානයේදී දිවයින පුරා පැල සිටුවීමේ වැඩසටහනක් සහ කොළඹදී හරිත පාගමනක්ද පැවැත්වින.

    මෙහිදී, 2018 ලෝක පරිසර දිනය සැමරීම සඳහා තේමාව ලෙස තෝරාගෙන තිබුණේ (Go Green – Change tomorrow, today) යන්නයි.

    පරිසරය රැකගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් පැවැත්වූ පාගමන සඳහා 3,000 කට අධික පිරිසක් සහභාගී වූ අතර කොළඹ පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මිය මොවුන් අතර ප‍්‍රමුඛ අයෙකු විය. මෙම පාගමන නිදහස් චතුරස‍්‍රයෙන් ආරම්භ කෙරුණු අතර විහාර මහාදේවී උද්‍යානයේ නිදහස් පිටියෙන් එය අවසන් කෙරුණි. මේ යටතේ ආරම්භ කෙරුණු දිස්ත‍්‍රික්ක 25 තුළ පැලෑටි වර්ග 15 ක් රෝපණය කිරීමේ වැඩසටහන මේ වනවිටත් ක‍්‍රියාත්මක වෙමින් පවතී.

    ශ‍්‍රී ලංකාවේ හරිත ගොඩනැගිලි කවුන්සලය විසින් ක‍්‍රියාත්මක කළ මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේ ඉලක්කගත කණ්ඩායම වූයේ සාමාන්‍ය ජනතාව, හරිත ව්‍යාපාරික කටයුතු වලට සම්බන්ධ වී සිටින ආයතන සහ තිරසාරභාවය සමග බැඳුණු නිෂ්පාදන සහ සේවා සම්පාදකයින්ය. මෙම වැඩසටන සංවිධානය කර තිබුණේ පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳ ඉහළ දැනුවත් කිරීමක් ලබාදීමටත් හරිත ගොඩනැගිලි පිළිවෙත් තුළින් පරිසරය සංරක්ෂණය කිරීම සහ දේශගුණික වෙනස්කම් නිසා සිදුවන පාරිසරික හානි සහ අනිකුත් පාරිසරික ගැටලූ පාලනය කරමින් තිරසාර සංවර්ධනයක් කරා යොමුවීම වැනි ප‍්‍රායෝගික විසඳුම් පිළිබඳව දැනුවත් කිරීම සඳහායි.

    ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය ශ‍්‍රී ලංකාව තුළ හරිත ගොඩනැගිලි පිළිවෙත් දිරිමත් කරමින් තිරසාර දේපොළ කර්මාන්තයක් මෙරට සංවර්ධනය කිරීම සඳහා කැපවී සිටින එකඟතාවයක් පදනම් කරගත් ලාභ අරමුණු නොකරන ආයතනයකි. දේපොළ කර්මාන්තය නියෝජනය කරන අංශවල ඒකාබද්ධ නියෝජනයකින් මෙම ආයතනය සමන්විත වේ.

    මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් බ‍්‍රැන්ඩික්ස් සමූහයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ සමූහය විසින් මෙම වැඩසටහන සඳහා සහයෝගය ලබාදුන්නේ බ‍්‍රැන්ඩික්ස් තිරසාර න්‍යාය පත‍්‍රය සමග මෙය මනාව ගැලපෙන නිසාත් හරිත ගොඩනැගිලි කවුන්සිලයේ උත්සාහය ඇගයීම සඳහා බවයි. බ‍්‍රැන්ඩික්ස් විසින් ලෝකයේ පළමු LEED (Leadership in Energy and Environmental Design) ප්ලැටිනම් ශ්‍රේණිගත ඇඟලූම් කර්මාන්ත ශාලාව ඇමරිකා එක්සත් ජනපදයේ ග‍්‍රීන් බිල්ඩින් කවුන්සලයේ (USGBC) හරිත ගොඩනැගිලි ශ්‍රේණිගත කිරීමේ ක‍්‍රමය අනුව ඉදිකර තිබේ. එතැන් සිට LEED සහතිකය සීදුව, කොග්ගල සහ රත්මලානේ පිහිටි සමූහයේ කර්මාන්තශාලා සඳහාද ලබාගෙන ඇත.

    සමාගම විසින් පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය අඩු කිරීම සඳහා ගත් නවතම උත්සාහය ලෙස මෙගාවොට් 1.65 ක ධාරිතාවයෙන් යුත් මඩකළපුව බ‍්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් කර්මාන්තශාලාවේ ගොඩනගා තිබෙන සූර්්‍ය බලශක්ති පද්ධතිය දැක්විය හැකිය. මෙය වහලක් මත ඉදිකර තිබෙන ශ‍්‍රී ලංකාවේ විශාලතම සූර්ය බලශක්ති පද්ධතියයි.

    බ‍්‍රැන්ඩික්ස් සමූහයේ තිරසාර මාර්ගෝපදේශන ගමන්මග යටතේ බ‍්‍රැන්ඩික්ස් විසින් තමන්ටම අයත් පාරිසරික දර්ශකයක්(Eco Index)   නිර්මාණය කර තිබේ. මෙය මගින් නව්‍ය ආකාරයට සමූහයේ සමාගම් සහ කාර්යාල මෙන්ම සැපයුම් චක‍්‍රයේ කොටස්කරුවන්ගේත් පාරිසරික කාබන් මුදා හැරීම ගණනය කළ හැකිබව සමූහය සඳහන් කරයි. කාබන්ඩයොක්සයිඞ් මුදාහැරීම, බලශක්තිය සහ  ජලය පරිභෝජනය මෙන්ම ඝන අපද්‍රව්‍ය මුදා හැරීම අඩුකිරීම සඳහා සමූහයේ කර්මාන්ත ශාලාවල ගෙනයන වැඩසටහන් වලදී බ‍්‍රැන්ඩික්ස් පාරිසරික දර්ශකය (Eco Index)  භාවිතා වේ. 2020 වසර වනවිට පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය 100% කින් අඩුකිරීමට බ‍්‍රැන්ඩික්ස් සමූහය ඉලක්ක කර තිබේ.

    සේයාරු සටහන - Go Green වැඩසටහනෙහි විශේෂ අවස්ථාවන් කිහිපයක්