2018 දී කොටස් වෙළෙඳපොළ 2.85% කින් පහළට

    June, 26, 2018

    2018 වසර ආරම්භයේ සිට 2018 ජූනි 26 දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 2.85% කින් පහළ ගොස් තිබේ. අද (26) දින ගනුදෙනු තුළ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 32.08 කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී එය දැක්වුණේ ඒකක 6,188.05 ක් ලෙසිනි. මේ අනුව 2018 වසර තුළ දී ඒකක 141.21 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබේ.

    අද දින ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 541.16 ක් ලෙසින් සටහන් වූ අතර ප්‍රධාන වශයෙන් ඒ සඳහා දායක වූයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ රු. මිලියන 199.8 ක හා කොමර්ෂල් බැංකුවේ රු. මිලියන 102.29 ක ගිවිසාගනු ලැබූ ගනුදෙනු දෙකකි. ඒ හැරුණු විට සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනුවලින් ජනනය වූ පිරිවැටුම රුපියල් මිලියන 239 ක් පමණක් විය. කෙසේ වෙතත් 2018 වසරේ මේ දක්වා දෛනික සාමාන්‍ය පිරිවැටුම රුපියල් මිලියන 952 ක් ලෙසින් වාර්තා වේ.

    අද දින ගනුදෙනුවලින් රුපියල් මිලියන 313 ක වටිනාකමකින් යුතු කොටස් විදේශිකයින් විසින් මිල දී ගෙන තිබුණු අතර විදේශීය විකුණුම් රුපියල් මිලියන 339.52 ක් ලෙසින් සටහන් විය.

    2015 ජනවාරි 08 දින වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,497.6 ක් ලෙසින් වාර්තා වී තිබෙන අතර එය අද (2018 ජූනි 26) දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ඒකක 1,205.6 කින් පහළ ගොස් තිබේ. එනම් සියයට 16 ක කොටස් වෙළෙඳපොළ පහළ යාමකි.

    මේ අතර පවතින තත්ත්වය තුළ කොටස් තැරැව්කාර සමාගම් ගණනාවකට මේ වන විට සිය දෛනික වියදම් පවා පියවා ගැනීම ගැටළුවක් වී තිබේ. අඩු ද්‍රවශීලතා මට්ටම් හේතුවෙන් තැරැව්කාර සමාගම්වල ආදායම් පහළ යාම මීට හේතුවයි.

    අවම ප්‍රාග්ධන ප්‍රමාණතා අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වීම සහ අවම කොටස්කරුවන්ගේ අරමුදල් අවශ්‍යතා සපුරාලීමට අසමත්වීම යන කරුණු හේතුවෙන් නේෂන් ලංකා ඉක්විටීස් (පුද්) සමාගම, නවාරා සිකියුරිටීස් (පුද්) සමාගම,  TKS සිකියුරිටීස් (පුද්) සමාගම හා ක්ලැරිඩ්ජ් ස්ටොක්බ්‍රෝකර්ස් (පුද්) සමාගම යන කොටස් තැරැව්කාර ආයතනවල ගනුදෙනු ක්‍රියාකාරකම් තහනම් කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් පසුගිය අප්‍රේල් 17 දින සිට තීරණය කරනු ලැබීය.