දේශපාලන අධිකාරියට වඩා රටේ නිලධාරීවාදය බලවත් වෙලා – විගණකාධිපති

    July, 3, 2018

    විගණකාධිපති ගාමිණී විජේසිංහ ඇතුළු එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකු ඊයේ (01) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණි අතර ඉන් අනතුරුව මල්වතු - අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැකීමට ද ඔවුන් එක්විය.

    මෙහිදී අස්ගිරි මහනායක හිමියන් දැනුවත් කරමින් විගණකාධිපතිවරයා කියා සිටියේ එළඹෙන 05 වනදා ජාතික විගණන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

    “දැන් මේකේ ආයෙත් සංශෝධනය කරන්න දෙයක් නැහැ. පාර්ලිමේන්තුවේ සියලු දෙනාම එකඟත්වය පළ කළොත් මේක එදාට සම්මත වෙයි. වැරදි කරන අයට තමා මේකේ ප්‍රශ්නය තියෙන්නේ. වැරදි කරන අයනේ ශක්තිමත් වෙලා තියෙන්නේ. රාජ්‍ය සේවයේ ඒ ගොල්ලෝ ටිකක් බලපෑම් කරනවා. මූල්‍ය අපහසුතාවක් තියෙන වෙලාවක රාජ්‍ය මුදල් අපි පරිස්සම් කරන්න ඕනනේ.“ යැයි විගණකාධිපතිවරයා අස්ගිරි මහනායක හිමි වෙත පැවසීය.

    මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා,

    “දැනට එළියට ඇවිල්ලා තියෙන හාල් වාර්තාව, ගල්අඟුරු වාර්තාව, හරක් ගෙන්වීම සම්බන්ධයෙන් වෙනම වාර්තාවක් හදලා තියෙනවා, වන ජීවී දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් වෙනම වාර්තාවක් සකස් කරලා තියෙනවා, එවැනි වාර්තා 20 ක් විතර තියෙනවා. මේවා ඔක්කොම එළිදක්වලා තියෙන්නේ. ඒවා සාකච්ඡාවට බඳුන්වීමේ යම් ප්‍රමාදයක් තියෙනවා. ඒ වාර්තා ඔක්කොම පෙළට විවාදයට ගනියි. එසේ ගැනීමත් සමඟම මම විශ්වාස කරනවා බැඳුම්කර සිද්ධිය වගේ තවත් ගොඩක් ප්‍රශ්න එළියට ඒවි.“

    ජාතික විගණන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමින් විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

    “ඇත්තවශයෙන් මට තේරෙන විදියට නම් දේශපාලන වශයෙන් මේකට විරෝධතාවයක් නැහැ. නමුත් ඊට වඩා බලවත් අද රටේ නිලධාරීවාදය. ඒ නිසා හුගක් වෙලාවට නිළධාරීන් තමයි මේකට පසුබැස්ම කරන්නේ. ඒකෙන් පරීක්ෂණයට ලක්වෙන්නේ රාජ්‍ය අංශයේ තියෙන ඉහළ නිලධාරීන්. ඒ නිසා ඔවුන්ගේ බලපෑමට යම් ආකාරයකට දේශපාලන අධිකාරය නතුවෙනවාද කියන සැකය තමයි අපිට තියෙන්නේ.“

    “බැඳුම්කර සම්බන්ධයෙන් 2008 දක්වා අපි පරීක්ෂණ කළා. මහ බැංකුව ඒ සඳහා වෙනම වෝහාරික විගණනයක් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදුකරගෙන යන්නේ. ජාත්‍යන්තර වශයෙන් අපි දැන් ටෙන්ඩර් කැඳෙව්වා. ඒ සඳහා සුදුසු පාර්ශවයක් සොයා ගන්න. ඒ අනුව පසුගිය වර්ෂ 10 ක විතර කාලයක් සඳහා වංචා තියෙනවා නම් හොයා ගන්න පුළුවන් වෙයි.“