සේවක පුහුණුව වර්ධනය කිරීමට බ‍්‍රැන්ඩික්ස් සහ CINEC එකතුව නව පුහුණු මධ්‍යස්ථානයක් අරඹයි

    August, 20, 2018

    ලොව පුරා 60,000 ක සේවා බලකායක් හිමි සේවා සම්පාදකයෙකු වන බ‍්‍රැන්ඩික්ස්, Colombo International Nautical and Engineering College (CINEC) සමග බ‍්‍රැන්ඩික්ස් සමූහයේ කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සඳහා Brandix – CINEC Centre of Excellence (BCCE) ආරම්භ කරමින් සංධිස්ථානාත්මක ඒකාබද්ධතාවයක් සනිටුවහන් කර ඇත.

    මාලඹේ පිහිටි CINEC විශ්ව විද්‍යාල භූමියේ BCCE පිහිටා තිබෙන අතර පසුගියදා බ‍්‍රැන්ඩික්ස් සමූහය සහ CINEC සමග අත්සන් කළ ගිවිසුමට අනුව මෙය ඉදිරියේදී ඇඟලූම් කර්මාන්තයට අවශ්‍ය ඒකාබද්ධ පුහුණු වැඩසටහන් සහ සමීක්ෂණ සඳහා පහසුකම් සපයනු ඇත. මේ අනුව, BCCE ආයතනය විසින් මූලික අදියරේදී බ‍්‍රැන්ඩික්ස් සමූහයේ සාමාජිකයින් සහ සුපරීක්ෂක මට්ටමේ සාමාජිකයින් ඉලක්ක කරගනිමින් තාක්ෂණික මාතෘකා සහ අවසන් අදියරේ විෂය කරුණු වලට අදාළව හැසිරීමේ කරුණු ආවරණය වන වැඩසටහන් ලබාදෙනු ඇත.

    මෙම ගිවිසුමට බ‍්‍රැන්ඩික්ස් සමූහයේ ප‍්‍රධාන මානව සම්පත් නිලධාරී, ඉෂාන් දන්තනාරායන මහතා සහ CINEC විශ්ව විද්‍යාලයේ උප සභාපති, මහාචාර්ය නාලක ජයකොඩි මහතා අත්සන් කළ අතර එම අවස්ථාවට CINEC විශ්ව විද්‍යාලයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ, කැප්ටන් අජිත් පීරිස් මහතා සහභාගී විය. මෙහිදී, ඇඟලූම් තාක්ෂණික ශිල්පීන්ගේ තනතුර සඳහා පුහුණුව ලැබූ මුල්ම කණ්ඩායම පිළිබඳව හැඳින්වීමක්ද සිදුකරන ලදී. මෙම අවස්ථාවට පුහුණුව ලබන්නන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, බ‍්‍රැන්ඩික් කළමනාකරණ අංශයේ සාමාජිකයින් සහ CINEC විශ්ව විද්‍යාලයේ නිළධාරීන් සහභාගී විය.
    ‘මෙම වැඩසටහනේ අරමුණ වෙන්නේ මනාව පුහුණුව ලැබූ වෘත්තිකයින් බිහිකිරීමයි. දිරිමත් පිරිසක් බිහිකිරීම සඳහා අපි කැපවී සිටිනවා,’ යනුවෙන් මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් දන්තනාරායන මහතා සඳහන් කළේය. ‘CINEC විශ්ව විද්‍යාලය සමග එක්ව ඉතා පරිස්සමින් සකස්කළ පරිපූර්ණ අධ්‍යන සහ සංවර්ධන වැඩසටහනක් මගින් අපගේ ජනතාවගේ තිබෙන තාක්ෂණික සහ නායකත්ව හැකියාවන් කර්මාන්තයේ ඊළඟ අදියරේ දක්ෂයින් කණ්ඩායම නිර්මාණය කිරීම සඳහා එළිදැක්වීමට අපට අවශ්‍යව තිබෙනවා.’

    දන්තනාරයන මහතා වැඩිදුරටත් සඳහන් කළේ BCCE විසින් ලබාදෙන අධ්‍යන කටයුතු ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් ලබාදෙන මගපෙන්වීම අනුව තවදුරටත් ශක්තිමත් වන බවයි. මෙහිදී, ඩිප්ලෝමා පාඨමාලාවකට සමාන සුදුසුකමක් හිමිවන ජාතික වශයෙන් ඉහළ පිළිගැනීමකට ලක්ව තිබෙන NVQ සුදුසුකම ලබාගත හැකිවන පරිදි මෙම පාඨමාලාවේ අන්තර්ගතයක් ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් ශක්තිමත් කරන බව ඔහු පැවසීය.

    මෙහිදී, පුහුණුවන්නන් ඇමතූ CINEC විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක අද්මිරාල් තිසර සමරසිංහ මහතා සඳහන් කළේ ප‍්‍රායෝගික පුහුණුව සහ පෞර්ෂත්ව සංවර්ධනය මගින් ලබාගන්නා දැනුමෙන් සහ කුසලතාවයෙන් සන්නද්ධ වී තෝරාගත් වෘත්තිය තුළ තරගකාරී බවට පත්වීම ඉතාමත් වැදගත් බවයි. බ‍්‍රැන්ඩික්ස් සහ CINEC විසින් ඇති කරගත් මෙම ඒකාබද්ධතාවය මගින් මෙම අරමුණ සාමූහිකව ජයගත හැකිබවද ඔහු මෙහිදී සඳහන් කළේය.
    මීට අමතරව බ‍්‍රැන්ඩික්ස් විසින් වෘත්තීය පුහුණු අධිකාරිය සමග අවබෝධතා ගිවිසුම් දෙකක් අත්සන් කර තිබෙන අතර මින් පළමු වැන්න වන්නේ ඇඟලූම් කර්මාන්තයේ පළමු වරට ඇඟලූම් තාක්ෂණික ශිල්පීන්ට NVQ මට්ටම් 05 ට සමාන සුදුසුකම් ලබාගැනීම සඳහා අත්සන් කළ අවබෝධතා ගිවිසුමයි. අනිත් අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලද දේ වෘත්තීය පුහුණු අධිකාරියේ දිවයින පුරා පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල මාස තුනක කර්මාන්ත මහන මැෂින් පාඨමාලාව හදාරන පාසැල් හැරයන්නන් සඳහා බ‍්‍රැන්ඩික්ස් සමූහයේ රැකියා අවස්ථා ලබාදීම සඳහායි.

    සේයාරු සටහන - බ‍්‍රැන්ඩික්ස් සමූහයේ ප‍්‍රධාන මානව සම්පත් නිලධාරී, ඉෂාන් දන්තනාරායන මහතා (වමේ& සහ CINEC විශ්ව විද්‍යාලයේ උප සභාපති මහාචාර්ය නාලක ජයකොඩි මහතා ආයතන දෙකේ නියෝජිතයින් ඉදිරියේ Brandix – CINEC Centre of Excellence (BCCE) පිහිටුවීමට අවශ්‍ය ගිවිසුම හුවමාරු කරගනී.