DFCC බැංකුවෙන් අඩු මිලට කොටස්

    January, 23, 2019

    ඊයේ (22) දින පැවති DFCC බැංකු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී හිමිකම් කොටස් නිකුතුවක් සිදුකිරීම සඳහා නිර්දේශ ලැබී තිබේ.

    රුපියල් බිලියන 7.63 ක ප්‍රාග්ධනයක් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් මෙම හිමිකම් කොටස් නිකුතුව සිදුකිරීමට නියමිතය.

    ඒ අනුව කොටස් 106,039,075 ක්. එකක් රු. 72.00 බැගින් නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර මේ සඳහා සමාගමේ වත්මන් කොටස් හිමියන්ට ඉල්ලුම් කිරීමට අවස්ථාව හිමිවේ. එහිදී සමාගමේ වත්මන් කොටස් හිමියන්, සෑම කොටස් 5 කටම කොටස් 2 ක් බැගින් වන පරිදි ඉල්ලුම් කිරීම සඳහා සුදුසුකම් ලබනු ඇත.

    මේ සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළෙන් සහ අති විශේෂ මහා සභා රැස්වීමක දී සමාගමේ කොටස් හිමියන්ගෙන් අනුමැතිය ලබා ගත යුතුවේ.

    මෙය සමාගමේ Tier 1 ප්‍රාග්ධන මට්ටම ඉහළ නංවා ගැනීම වෙනුවෙන් කරනු ලබන හිමිකම් නිකුතුවක් බව බැංකුව වැඩිදුරටත් කියා සිටී.

    කෙසේ වෙතත් මෙම නිවේදනය ප්‍රකාශයට පත් වීමත් සමඟ අද (23) පෙරවරුවේ දී DFCC බැංකුවේ කොටසක් ගනුදෙනු මිල පෙර දිනයට සාපේක්ෂව 6.85% කින් පහළ ගොස් තිබිණි. එහිදී කොටසක මිල රු. 83.00 ක් ලෙසින් සටහන් වූ අතර එය පූර්ව දිනයට වඩා රු. 6.10 ක අඩු වීමකි.