සංචාරක මුල් පුටු තවමත් හිස්. නව පත්කිරීම් කල්යයි

    January, 29, 2019

    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (Sri Lanka Tourism Promotion Bureau – SLTPB), ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය  (Sri Lanka Tourism Development Authority – SLTDA), ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (Sri Lanka Convention Bureau – SLCB) හා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (Sri Lanka Institute of Tourism and Hotel Management – SLITHM) යන ආයතනයන් හි ප්‍රධාන තනතුරු පත්කිරීම් සඳහා අද (29) පෙරවරුවේ සැලසුම් කර තිබුණ ද, එම පත් කිරීම් තවත් දින කිහිපයකට කල් දමා ඇති බව අද දෙරණ Biz වෙත වාර්තා වේ.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මෙම නව පත්කිරීම් අද උදෑසන සිදුකිරීමට නියමිතව තිබුණ ද, අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම පත් කිරීම් කල්ගිය බවයි.

    මෙහිදී වැඩිදුරටත් වාර්තා වූයේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නව සභාපතිවරයා වශයෙන් සුප්‍රකට ව්‍යාපාරික නායකයෙකු වන කිෂූ ගෝමස් මහතා පත්කිරීමට නියමිතව තිබූ බවයි. එසේම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් රන්ජිත් ද සිල්වා මහතා පත්කිරීමට නියමිතව තිබූ බව ද වාර්තා වේ.

    මේ අතර ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ සභාපතිවරයාව සිටි කුමාර් ද සිල්වා මහතා, තවදුරටත් එම තනතුර සඳහා පත්වීමට නියමිතව සිට ඇති අතර ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ ප්‍රධානියා වශයෙන් දිලිප් ද සිල්වා මහතා පත් කරනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.