January, 31, 2019
මහජනයා සතුව ඇති “අකුරු, ඉලක්කම් ලිවීමෙන්, ඉරි ඇදීමෙන් සහ වෙනත් අනවශ්‍ය දේ ලිවීමෙන් විකෘති කරන ලද මුදල් නෝට්ටු“ වාණිජ බැංකු විසින් බාර ගැනීම මේ වන විට නවතා දමා ඇත.
තවද බැංකු ගෙවීම් පියවීමේ දී ඇතැම් බැංකුවවල තිබෙන ලියුම් කවරයක බහා මුදල් බාර ගැනීමේ යන්ත්‍රවලට මෙයාකාරයෙන් විකෘති කරන ලද මුදල් නෝට්ටු තැන්පත් කළහොත් එම බැංකුව විසින් අදාළ තැන්පතු ප්‍රතික්ෂේප කිරීමට ද මේ වන විට තීරණය කර තිබේ. එහිදී අදාළ ගනුදෙනුකරුවා වෙත දුරකතන මාර්ගයෙන් බැංකුව විසින් දැනුම් දී සිටින්නේ, එම විකෘති කරන ලද මුදල් නෝට්ටු නැවත වරක් ගනුදෙනුකරුවා විසින් බාර ගත යුතු බවයි.
මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ විමසීමක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය දෙපාර්තමේන්තුවේ ( Currency Department) නිලධාරිනියක විසින් මේ බව තහවුරු කරමින් පැවසුවේ වාණිජ බැංකු විසින් 2018 දෙසැම්බර් 31 වනදායින් පසු අකුරු, ඉලක්කම් ලිවීමෙන්, ඉරි ඇදීමෙන් සහ වෙනත් අනවශ්‍ය දේ ලිවීමෙන් විකෘති කරන ලද මුදල් නෝට්ටු බාර ගැනීම නවතා ඇති බවත්, එම මුදල් නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකුවට පැමිණීමෙන් මාරු කර ගත හැකි බවත්ය.
මේ අතර ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමේදී විකෘති කළ නෝට්ටුවක් ගනුදෙනුකරුවෙකුට ලැබුණහොත් එහි වගකීම එම බැංකුවට පැවරේ. මුදල් ලබා ගැනීමේදී එවැනි නෝට්ටුවක් ලැබුණහොත්, විකෘති කර ඇති හෝ හානියට පත් වී ඇති එම මුදල් නෝට්ටුව ATM යන්ත්‍රයේ සවි කර ඇති කැමරාව වෙත දර්ශනය කර අදාළ බැංකුව වෙත ගෙන ගොස් දී ඒ වෙනුවට පිරිසිදු නෝට්ටුවක් ලබා ගැනීම කළ හැකිවේ.
ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු සිතාමතා විකෘති කිරීම, හානි කිරීම හෝ වෙනස් කිරීම 1949 අංක 58 කරන මුදල් නීති පනත යටතේ දඩ මුදලකට යටත් කිරීම හෝ එම දඬුවම් දෙකම ලබා දිය හැකි වරදකි.
මුදල් නීති පනතේ රෙගුලාසි ඊ යටතේ සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද හෝ වෙනස් කරන ලද නෝට්ටු සඳහා කිසිදු හිමිකම් පෑමක් නොලබන අතර එවැනි නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රඳවා ගත යුතුය.
මේ අනුව මෙවැනි මුදල් නෝට්ටු අත දරන්නා හට ඒවා ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් මාරු කර නොගන්නේ නම් එම නෝට්ටුවල මුහුණත වටිනාකමෙහි අලාභය දර ගැනීමට සිදුවනු ඇත.
Video Story