පිටකොටුවේ හර්තාල්. කන්ටේනර් දහසක් රේගුවේ හිරවෙලා. ඉදිරියේ දී අත්‍යාවශ්‍ය ආහාර හිඟයක්?

    February, 5, 2019

    අද (05) දිනයේ දී කොළඹ පිටකොටුවේ 4 වන හා 5 වන හරස්වීදිවල සියලූම වෙළෙඳසැල් වසා දමා හර්තාල් ව්‍යාපාරයක් දියත් වී ඇත. මෙම හර්තාල් ව්‍යාපාරයට සම්බන්ධ වෙළෙඳුන් පවසන්නේ මේ වන විට ක්‍රියාත්මක කර ඇති රේගු බදුවලට අමතරව අධික වියදම් ප්‍රමාණයක් තමන්ට දරන්නට සිදුවීම මෙම හර්තාල් ව්‍යාපාරයට හේතු වී ඇති බවයි.

    අත්‍යාවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමයේ ලේකම් ජී. ඉලමනාදන් මහතා අද දෙරණ වෙත පැවසුවේ දැනට ගබඩාවල ඇති අල, ළූණු වැනි ද්‍රව්‍ය තව දින 4-5 කට ප්‍රමාණවත් බවයි. එසේම ඉදිරි දින 2-3 ක් ඇතුළත මෙම ගැටළුව සඳහා විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේ දී ආහාර හිඟයක් ඇති විය හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    මේ අතර අත්‍යාවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මහතා අද දෙරණ වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.

    “අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 16 ක් තිබෙනවා. එක දිනකට මේවා අඩංඟු බහාලුම් 400 ක් පමණ පිටත් වෙනවා. එක දිනකට මෙලෙස රේගුවෙන් නිෂ්කාෂනය වන ප්‍රමාණය 1/3 ක් දක්වා අවම වෙලා. මේ වන විට බහාලුම් දහසකට වඩා රේගු අංගනවල හිරවෙලා තිබෙනවා. මෙයින් ඇතිවන අනිසි බලපෑම තමයි අපේ මේ උද්ඝෝෂණය හරහා පෙන්වා දෙන්නේ.“

    “වරාය අධිකාරිය ජනවාරි පළමුවැනිදා සිටි ගොඩබෑමේ ගාස්තුන සියයට 200 කින් වැඩි කළා. මේ බහාලුම් ඉවත් කර ගැනීමට, වරාය අධිකාරියට ගුදම් ගාස්තු ගෙවන්නේ නැතිව දින 3 ක් දක්වා නිදහස් කාලයක් අපට තිබුණා. රේගුවේ ඇති වී තිබෙන ගැටළුව නිසා පසුගිය අඟහරුවාදා පැමිණි බහාලුම් තවම නිදහස් කර ගන්න අපට බැරි වෙලා තිබෙනවා. දිනකට ඩොලර් 30 ක ප්‍රමාණයක් ගුදම් ගාස්තු ලෙද රේගුව අය කරගන්නවා. අද වන විට ඒ සඳහා දින 7 ක් ගුදම් ගාස්තු ගෙවන්න සිදුවෙලා. සමහර බහාලුම් සඳහා ලොරි අපි අනුයුක්ත කතරලා තිබෙනවා. ඒ සඳහා දිනකට රු. 15,000 ක් පමණ ප්‍රමාණයක් ප්‍රවාහන ගාස්තු ලෙස ගෙවන්න සිදුවෙලා තිබෙනවා.“

    “මීට අමතරව ගෙන්වනු ලබන වියළි මිරිස්, කරවල වැනි ආහාර ද්‍රව්‍ය දිගු කාලයක් වරාය අංගනයේ තිබෙන විට හිරු රශ්මිය හා වෙනත් පරිසර සාධක නිසා බොහෝ සේ මේවා තත්ත්වයෙන් පරිහානියට පත්වෙනවා. මේවා අපි අලෙවි කරන්න යන කොට, සෞඛ්‍යය පරීක්ෂක මහතුන් ඇවිත් මේවා මහජන පරිභෝජනයට නුසුදුසුයි කියලා ප්‍රතික්ෂේප කරනවා. මෙවැනි පාඩු අපට දරන්න සිදුවෙනවා.“

    “මේ සතියේ දී තවත් බහාලුම් 600 ක් ඉක්මවූ ප්‍රමාණයක් පැමිණෙන්නට නියමිතයි. රේගු බදුවලට අමතරව මේසා විශාල අධික වියදමක් මෙයාකාරයෙන් වෙළෙඳ භාණ්ඩ මත පැනවීමෙන් අවසානයේ මෙහි බලපෑම යන්නේ මහජනතාවට.“